ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026 පැවැත්වීමට පියවර
ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 'ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026' (SLEIS 2026) උසස් මට්ටමේ ආයෝජන පදනම් කරගත් විද්වත් මණ්ඩල සාකච්ඡාවකින් ආරම්භ වීමට නියමිතය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව තම ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමත් සමඟ රට තුළ මතුවෙමින් පවතින ආයෝජන වටපිටාව සහ නැගී එන නව අවස්ථා පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කෙරෙනු ඇත.
සමුළුවේ සමාරම්භක දිනයේදී පැවැත්වෙන මෙම සැසියේදී, ප්‍රමුඛතා ක්ෂේත්රයන් හි පවතින අවස්ථා, ආයෝජකයින්ට ලබාගත හැකි ප්‍රතිපත්තිමය, නියාමන සහ ආයතනික සහාය මෙන්ම, ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කෙරේ. තවද, රජය සහ පෞද්ගලික අංශය අතර පවතින සහයෝගීතාව වැඩිදියුණු කිරීම තුළින් ආයෝජන වේගවත් කිරීම, ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සහ රට වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇත.
මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, වැඩබලන වාණිජ අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදවුල්වැව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික විශ් ගෝවින්දසාමි යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
ආයෝජකයින් සහ රාජ්‍ය අංශය අතර සෘජු සබඳතා
විද්වත් මණ්ඩල සාකච්ඡාවට අමතරව, ආයෝජකයින්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය අතර සෘජු සබඳතා ගොඩනගා ගැනීමට පහසුකම් සැලසෙන පරිදි මෙම සමුළුව නිර්මාණය කර ඇත. ප්රමුඛ පෙළේ ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතන, නියාමන බලධාරීන් සහ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට ආයෝජකයින්ට මෙහිදී අවස්ථාව හිමිවේ. එමගින් ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට, පවතින සහායක යාන්ත්‍රණයන් තේරුම් ගැනීමට සහ විභව හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට මගපෑදෙනු ඇත.
විශේෂිත ව්‍යාපාරිකයන් අතර හමුවීම් (B2B) සහ ජාලකරණ සැසි (Networking) හරහා අදාළ ආයතන සහ සමාගම් සමඟ සම්බන්ධ වීමට සහභාගිවන්නන්ට තවදුරටත් අවස්ථාව සැලසේ. මෙය ආයෝජන පහසුකම් සැලසීම, ව්‍යාපාරික සහයෝගීතාවන් සහ දිගුකාලීන වාණිජ සබඳතා ඇති කර ගැනීමට මගපාදනු ඇත.
සමුළුවේ කාලසටහන සහ ලියාපදිංචිය
"වෙනස් වන ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ප්‍රත්‍යස්ථතාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය" (Positioning Sri Lanka in a Changing Global Economy: Resilience, Reform, and the Future of Economic Policy) යන තේමාව යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026, ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වේ.
සමුළුව සඳහා ලියාපදිංචි වීම මේ වනවිට ආරම්භ කර ඇත. ලියාපදිංචි වීම සඳහා https://sleis.chamber.lk/ වෙත පිවිසෙන්න. වැඩිදුර තොරතුරු සඳහා අලිකි ([email protected]) හෝ ශනුක ([email protected]) සම්බන්ධ කරගත හැක.
මෙම සමුළුව සඳහා දෙස් විදෙස් නියෝජිතයින්ගෙන් නිරන්තරයෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින බැවින් සහ නියමිත ධාරිතාව ඉක්මනින්ම පිරී යන බැවින්, කල්තියා ලියාපදිංචි වන ලෙස ලංකා වාණිජ මණ්ඩලය පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
