ශ්‍රී ලංකා - චීන වෙළෙඳ මණ්ඩලයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීමෙන්
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා - චීන වෙළෙඳ මණ්ඩලයේ (SLCHBC) 25 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා සාර්ථකව පවත්වා තිබේ.
දෙරට අතර පැවැති වසර 25 ක සමීප සම්බන්ධතාව හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
වසර දෙකක ධුර කාලයක් නිම කරමින් සමුගැනීමේ කතාව පැවැත්වූ හිටපු සභාපති හරූන් කාදර් මහතා, සිය ධුර කාලය තුළ අත්කර ගත් විශේෂ සන්ධිස්ථාන කිහිපයක් සිහිපත් කළේය. ඒ අතර චීන නියෝජිතයින් සියයකට වැඩි පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහභාගී වූ "ශ්‍රී ලංකා - චීන වෙළෙඳ හා ආයෝජන සමුළුව" ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම, ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී මුදල් පරිවර්තන සහ ගනුදෙනු පිරිවැය අඩු කරගැනීම සඳහා චීන යුආන් (Renminbi) මුදල් භාවිතය පිළිබඳව සාකච්ඡා කෙරුණු 2025 ඔක්තෝබර් මස පැවැති "Renminbi ජාත්‍යන්තරකරණ සමුළුව" ද ඔහු විසින් විශේෂයෙන් සඳහන් කරන ලදී.
දෙරට අතර පවතින වෙළෙඳ පරතරය පිළිබඳව අදහස් දැක්වූ කාදර් මහතා, ශ්‍රී ලංකාව විසින් වඩාත් තරඟකාරී අපනයන භාණ්ඩ හා සේවා හඳුනාගත යුතු බව පෙන්වා දුන්නේය. එමෙන්ම, රැකියා උත්පාදනය කරන, තාක්ෂණය හුවමාරු කරන සහ දේශීය කර්මාන්ත බලගන්වන ආයෝජන රට තුළට ආකර්ෂණය කරගැනීමේ වැදගත්කමද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නව සභාපති ලෙස තේරී පත්වුණු සම්පත් කුමාර මහතා සිය සමාරම්භක කතාව පවත්වමින් ඉදිරි සැලසුම් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහාය වීම, දෙරටේ ව්‍යාපාරිකයින් අතර සබඳතා තවදුරටත් තීව්ර කිරීම සහ ශ්‍රී ලාංකේය ඥානයන් චීන තාක්ෂණය හා වෙළෙඳපොළ ප්රවේශයත් එකිනෙක යා කෙරෙන හවුල් ව්‍යාපාර (Joint Ventures) සඳහා වැඩි චීන ආයෝජන ආකර්ෂණය කරගැනීම ඔහුගේ ප්‍රධාන ඉලක්ක අතර වේ.
2026/27 වසර සඳහා තේරී පත්වුණු විධායක කමිටුව -
- සභාපති - සම්පත් කුමාර
- ජ්‍යෙෂ්ඨ උපසභාපති - චන්ද්‍රිකා රණවක
- උපසභාපති - මොහොමඩ් හමීස්
- භාණ්ඩාගාරික - අදීෂ සල්පිටිකෝරල
- හිටපු සභාපති - හරූන් කාදර්
- කමිටු සාමාජිකයින් -
- දුලිත් අහංගම, සමුද්ධිකා මෙන්ඩිස්, අනිල් කොස්වත්ත, භාරත සුබසිංහ, දමිත් ජයවර්ධන, ලුෂාන් නලින්ද, රිස්වාන් ජොව්හර්ෂා, රාජීබන් අරුමුගම් සහ රකිත ද සිල්වා.
මීට අමතරව, ලසන්ත වික්‍රමසූරිය, ජේ ඔන්ග්, චමින්ද පෙරේරා, ටෙඩ් මුත්තයියා සහ ප්‍රභාත් හර්ෂකුමාර් යන මහත්වරුන් ගෞරවනීය සාමාජිකයින් ලෙස කමිටුවට එකතු කර ගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳාම, ආයෝජන, නවෝත්පාදන සහ තිරසාර පදනමක් සහිත සහකාරිත්වයන් ගොඩනැගීමේදී ශ්‍රී ලංකා - චීන වෙළෙඳ මණ්ඩලය (SLCHBC) ඉදිරියටත් සිය ප්රමුඛ කාර්යභාරය ඉටු කරනු ඇත.
ශ්‍රී ලංකා - චීන වෙළඳ මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා [email protected] විද්‍යුත් ලිපිනය හරහා කවුන්සිල ලේකම් කාර්යාලය ඇමතීමට හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

