ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බර්න් වෙත සෘජු ගුවන් සේවා හඳුන්වාදීමේ පළමු වැනි සංවත්සරය සමරමින් ජාතික ගුවන් ප්‍රවාහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යන දෙඅංශයේම කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.
2017 ඔක්තෝබර් මාසයේ මෙල්බර්න් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ පැමිණීමේ වාර්තා ගත වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2018 සැප්තැම්බර් මස 30 වැනි දින තෙක් ගතවූ කාලසීමාව තුළ 45.16%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙය අනෙකුත් සියලුම රටවල්වලින් පැමිණෙන සංචාරකයන්ගේ වර්ධන වේගය වන 2.8% අභිභවා යෑමක් බව ඔවුහු පවසති.
4.5%ක ප්‍රතිශතයක් සමග මේ වනවිට ඔස්ට්‍රේලියාව 6 වැනි විශාලතම සංචාරක ජනන වෙළෙඳ පොළ බවට පත්ව ඇති අතර, එය දැනට වඩාත්ම වේගයෙන් වර්ධනය වන ප්‍රධාන වෙළෙඳ පොළද වන බව කියයි. සංචාරක සංඛ්‍යාව අතින් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලට පිටුපසින් සිටියත්, ශ්‍රී ලංකාවේ වර්ධන වේගය අනෙකුත් රටවල් 5 අතුරින් ඉහළ මට්ටමක පවතින බව ඔවුහු වැඩිදුරටත් පවසති.