ශ්‍රී ලංකන් ගුවන් සමාගම උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් සමරා තිබේ. මෙහිදී ගුවන් තොටුපොළට පැමිණීමේ සහ පිටවීමේ දොරටු වෙත යන මගීන් වෙත ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය අලුත් අවුරුදු සුබ පැතුම් එක්කර ඇත.
ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් සෙරන්ඩිබ් ව්‍යපාරික පන්තියේ විවේකාගාරය සහ සෙරන්ඩිවා විවේකාගාරය අසල අවුරුදු හා බැඳුනු සංස්කෘතික අංගයන් නිර්මාණය කිරීමට සහ ගුවන් මගීන් වෙත අවුරුදු රසකැවිලිවලින් සංග්‍රහ කිරීමට කටයුතු කර ඇති අතර, ගුවන් යානය තුළ ලබාදෙන රසවත් ආහාරයට අමතරව අලුත් අවුරුදු රස කැවිලි සිය ගුවන් මගීන්ට ලබාදීමටද ශ්‍රී ලංකන් කේටරිං කටයුතු යොදා තිබේ.
එසේම සිංහල හා දෙමළ ජනතාවට ආවේනික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ පිළිඹිබු කර පෙන්වන විවිධ අංගයන් ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කිරීමටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කර තිබේ. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ ගැමි පෞඪත්වය පෙන්නුම් කරන ආරච්චි සහ හාමිනේ ලෙස සැරසුණු යුවළ ගුවන් තොටුපළේ මගීන් ඉතා ආදරයෙන් පිළිගෙන ඇති අතර, එය සංචාරකයින්ගේ සිත්ගත් අංගයක් වී තිබේ.
අවුරුද්ද උදාවීමේ පණිවුඩය ගෙනයන රබන් වයන හඬින්ද ගුවන් තොටුපළ රසවත් වී ඇති අතර, අවුරුදු සමයේ දී විනෝදාත්මක කී‍්‍රඩාවක් ලෙස සිදුකරන අලියට ඇස තැබීමේ තරඟයද සංවිධානය කර ඇත. ඒ සඳහා විදේශකයින් මහත් උනන්දුවෙන් එක්වී ඇති අතර ජයග්‍රාහකයින් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ තිලිණද ලබාදුන් බව ඔවුහු පවසති.