ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි නව ප්‍රධාන වාණිජ නිලධාරී (CCO) ලෙස ජෝශුවා බුස්ටොස් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) ලෙස ශමින්ද සමරවීර යන මහත්වරුන් අප්‍රේල් මස සිට පත්කර තිබේ.
බුසටොස් මහතා වසර 20ක පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨතම ගුවන් සේවා විධායක නිලධාරියෙකු බවත්, ඔහු ඇමෙරිකන් එයාර්ලයින්ස්, ස්පිරිට් එයාර්ලයින්ස්, සවුත්ඇෆ්රිකන් එයාර්වේස්, ටයිගර් එයාර්වේස්, සැබ්රේ එයාර්ලයින්ස් සොලූෂන්, සෆී එයාර්වේස් සහ KPMG වැනි ප්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතනවල ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති බව පැවසෙයි. එමෙන්ම, සවුත් ඇෆ්රිකන් එයාර්වේස් හි ජාල පිරික්සුම් මණ්ඩලයේ සහ ආදායම් කළමනාකරණ උපදේශක මණ්ඩලයේ සේවය කර ඇත. ශ්‍රී ලාංකිකයන් මෙන්ම, විදේශිකයන්ද ඇතුළත් වූ සම්මුඛ පරීක්ෂණයකින් පසු එම තනතුර සඳහා ඔහු තෝරාගෙන තිබේ.
ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස තෝරාගෙන ඇති සමරවීර මහතා වසර 15කට වැඩි කාලයක සිට විදුලි සංදේශ, බැංකු සහ නාවික කටයුතු ඇතුළු ඉහළ මට්ටමේ ආයතන රැසක අත්දැකීම් දරා ඇති බව පැවසෙයි. එටිසලාට් ලංකා, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසියාටා සහ උතුරු ඇමෙරිකානු NAVTEQ වැනි ප්‍රධාන පෙළේ ආයතන රැසකද ඔහු තනතුරු හොබවා ඇති බව කියැවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය නව බඳවා ගැනීම් සඳහා දැඩි ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ අතර, එහිදී පුද්ගලයාගේ සුදුසුකම් පමණක් නොව, ඔහුගේ හෝ ඇයගේ වාර්තා සහ හැසිරීම් පිළිබඳවද අධ්‍යයනය කළ බවත්, විශේෂයෙන්ම, විදේශීය ජාතිකයන් බඳවා ගැනීමේදී අදාළ විදෙස් බලධාරීන්ගේ නිශ්කාෂණ වාර්තා අදාළ පත්වීම ලබාදීමට පෙර ලබාගැනීම සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.