2018 වසරේ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.2%ක අගයක් ගෙන ඇති අතර, එය පසුගිය වසරේ වාර්තා කළ 3.4%ක අගයට සාපේක්ෂව ආර්ථික වර්ධනයේ පහළ යෑමකි.
පසුගියදා නිකුත් කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසරේ වාර්ෂික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ මෙම කරුණු පිළිබිඹු වෙයි.
ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑමක්
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, 2018 වසරේදී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කර ඇති බවය. 2018 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ 3.4%ට සාපේක්ෂව 3.2%ක අගයක් වාර්තා කර ඇති බවත්, සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ 4.7%ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථාතත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ 4.8%ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සපයා ඇති බවත් පවසයි. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතු කොටගෙන වසර තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය 0.9%ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී වූ බව පවසන මහ බැංකුව, ද.දේ.නි. ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශයම 2018 වසරේ ආර්ථික වර්ධනය සඳහා දායක වූ බවද කියයි.
2018 ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 88.9ක්
ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ආයෝජන පෙර වසරේ වාර්තා කළ 28.8%ට සාපේක්ෂව 28.6%ක් ලෙස පැවතුණු බවත්, ඉතුරුම්-ආයෝජන පරතරය වසර තුළදී තවදුරටත් පුළුල් වූයේ එහි හිඟය සපුරා ගැනීම සඳහා විදේශීය සම්පත් මත වූ රැඳියාව ඉහළ යෑම පිළිබිඹු කරමින් බවත් මහ බැංකුව පවසයි. 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය එ.ජ.ඩොලර් බිලියන 88.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒක පුද්ගල ද.දේ.නි. එ.ජ.ඩොලර් 4,102ක් ලෙස පෙර වසරට වඩා මදක් පහළ අගයක් වාර්තා කළ බවද පෙන්වා දෙයි. ඒ අනුව, ආර්ථික කටයුතුවල මධ්‍යස්ථ වර්ධනය හමුවේ සේවා වියුක්ති අනුපාතිකයේ සුළු ඉහළ යෑමක් හා ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයේ පහළ යෑමක් වසර තුළදී නිරීක්ෂණය කළ බවද මහ බැංකුව කියයි.
ගෙවුම් තුලනයේ සමස්ත ශේෂයේ හිඟයක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙළෙඳ හිඟය එ.ජ.ඩොලර් බිලියන 10 ඉක්මවූ බව පෙන්වා දෙන මහ බැංකුව, සේවා අපනයන සැලකිය යුතු ලෙස ඉහළ ගියද වෙළෙඳ හිඟය වැඩිවීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මන්දගාමීවීම සහ විදේශීය ණය මත පොලී ගෙවීම් ඉහළ යෑම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 3.2ක් දක්වා පුළුල් වූ බව කියයි. 2018 වසරේදී මෙතෙක් වාර්තා වූ ඉහළම විදේශීය සෘජු ආයෝජන මට්ටම මෙන්ම, විශේෂයෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම් හරහා විදේශීය ණය ලබාගැනීම්ද මූල්‍ය ගිණුමේ ශේෂයට සහාය වූ බව කියන මහ බැකුව, මෙම ප්‍රවණතාවල සමස්ත ප්‍රතිඵලයක් ලෙස ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය, හිඟයක් ලෙස වාර්තා වූ බව පෙන්වා දෙයි.
දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ වෙත මැදිහත්වීම්
2018 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කළ වෙළෙඳ පොළ මත පදනම් වූ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මධ්‍යයේ රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරිය නමුදු, විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධන ගලායෑමක් සිදුවන අවස්ථාවලදී සහ අනිසි සමපේක්ෂණ කටයුතු හේතුවෙන් වෙළෙඳ පොළෙහි අධික උච්චාවචන ඇතිවන අවස්ථාවලදී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ වෙත මැදිහත් වූ බවද පෙන්වා දෙයි. ඒ අනුව, පුළුල් වෙමින් පැවති වෙළෙඳ හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීම සඳහා තීරු බදු ඉහළ නැංවීම, ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම, තෝරාගත් ණය කාණ්ඩ කිහිපයක් සඳහා වටිනාකම මත වූ ණය අනුපාතික දැඩි කිරිම සහ සහනදායී බලත්‍ර මත වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබූ බවත්, මෙමගින් සහ ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළෙහි අහිතකර තත්ත්වයන් යම්තාක් දුරකට සමනයවීමෙන් 2018 වසර අවසානයේදී සහ 2019 වසර ආරම්භයේදී ගෙවුම් තුලනය සහ විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩනය පහළ ගිය බවද මහ බැංකුව පවසයි.
ආහාර බොහෝමයක මිල ගණන් පහළ යෑමක්
මනා ඉදිරි දැක්මකින් යුතුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය, දේශීය අංශයේ සැපයුම් තත්ත්වය ඉහළ යෑම මෙන්ම සමාහාර ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් රුපියලෙහි සිදු වූ අධික අවප්‍රමාණය සහ දේශීය ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම හමුවේ වුවද වසර තුළදී මතුපිට හා මූලික උද්ධමනය තනි අඩු අගයක පැවතුණු බවත්, 2018 වසර තුළදී පැවතුණු හිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආහාර බොහොමයක මිල ගණන් පහළ ගිය අතර, මතුපිට උද්ධමනයේ උච්චාවචනයන් ආහාර කාණ්ඩයේ මිල විචලනයන් හා බෙහෙවින් සමගාමී වූ බවත් මහ බැංකුව කියයි.
දේශපාලන අවිනිශ්චිතභාවයෙන් රාජ්‍ය ආදායමට බලපෑම්
රාජ්‍ය අංශයේ ආදායම් රැස්කිරීමෙහි අඩුවීමක් පැවතියද ඉහළ ප්‍රාථමික අතිරික්තයක් සහ පහළ අයවැය හිඟයක් සමග රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් 2018 වසර තුළදී කිසියම් වැඩිදියුණු වීමක් පෙන්නුම් කළ බව පවසන මහ බැංකුව, 2018 වසරේදී රාජ්‍ය ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 13.3%ක් දක්වා අඩු වූ බවත්, විශේෂයෙන්ම වසරේ අවසාන කාලය තුළ පැවති දේශපාලනික අවිනිශ්චිතභාවයත් සමග අයවැය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ප්‍රමාදය නිසා රාජ්‍ය ආයෝජන අඩුවීම හේතුවෙන් වියදම් සහ ශුද්ධ ණයදීම් අඩු වූ බව පවසයි. ඒ අනුව, ආර්ථික කටයුතු මන්දගාමී වීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් අඩුවීමද දායක වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
අයවැය හිඟය අපේක්ෂිත ඉලක්කයට ළඟා නොවීමක්
රජයේ නිර්-ඉතුරුම් පිළිබිඹු කෙරෙන වර්තන ගිණුමේ හිඟය 2018 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී ඉහළ ගිය බවත්, රාජ්‍ය ආදායම සහ පොලී ගෙවීම් හැර වියදම අතර වෙනස පිළිබිඹු කරන ප්‍රාථමික ශේෂය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී වූ 0.02%ක අතිරික්තයට සාපේක්ෂව 2018 වසරේදී 0.6%ක අතිරික්තයක් වාර්තා කළ බවත් මහ බැංකුව පවසයි. එහිදී, ප්‍රාග්ධන වියදම්වල සැලකිය යුතු පහළ යෑම හේතුවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී පැවති 5.5% සිට 2018 වසරේදී 5.3% දක්වා අඩු වුවද, 2018 අයවැයට අනුව අපේක්ෂිත ඉලක්කය වූ 4.8%ක මට්ටම ළඟා කරගැනීමට නොහැකි වූ බව මහ බැංකුව පවසයි.
රජයේ ණය වැඩි වීමට රුපියල අවප්‍රමාණයත් හේතුවක්
මධ්‍යම රජයේ නොපියවූ ණය, 2017 වසර අවසානයට ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස පැවති 76.9% සිට 2018 වසර අවසානය වනවිට 82.9% දක්වා වැඩි වූ බවත්, ඒ සඳහා විදේශීය ණය ශේෂයේ රුපියල් වටිනාකම මත බලපෑම් කරමින් රුපියල අවප්‍රමාණය වීම, සාපේක්ෂ වශයෙන් පහළ නාමික ද.දේ.නි. සහ අදාළ කාලය තුළ ලබාගත් ඉහළ ශුද්ධ ණය ගැනීම් හේතු වූ බව මහ බැංකුව කියයි.
බැංකු අංශයේ ලාභදායීත්වය අඩුවීමක්
බැංකු අංශයේ සිදුවූ මධ්‍යස්ථ එහෙත් ස්ථාවර වර්ධනය හේතුවෙන් වසර තුළදී මූල්‍ය අංශය අඛණ්ඩව ප්‍රසාරණය වුවද, ප්‍රධාන වශයෙන්ම වත්කම්වල ගුණාත්මකභාවයේ පහළ යෑම, මෙහෙයුම් වියදම් ඉහළ යෑම සහ අධික බදු හේතුවෙන් වසර තුළදී බැංකු අංශයේ ලාභදායීත්වය අඩුවූ බව මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අතර, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශයද අභියෝගාත්මක පරිසරයක් තුළ මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් බලපත්‍රලාභී මුදල් සමාගම් නැවත නඟාසිටුවීම සහ එම අංශයේ දිගු කාලයක් පුරා පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත් බවත් පවසා සිටියි.
'මැදි ආදායම් උගුලෙන්’ මිදීමට අවශ්‍ය දූරදර්ශී වීමක්
පසුගිය වසර කිහිපය තුළ රටෙහි සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යෑමට දැරූ ප්රයත්න මධ්‍යයේ වුවද, අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට පත්ව ඇති බව පවසන මහ බැංකුව, දශකයකට පමණ පෙර මැදි ආදායම් ලබන රටක මට්ටමට පත් වූ ශ්‍රී ලංකාවට 'මැදි ආදායම් උගුල’ යන තත්ත්වයෙන් මිදී ඉහළ ආදායම් මට්ටමකට ළඟාවීම සඳහා දූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අවශ්‍ය වූ බව මහ බැංකුව කියයි. එහිදී, ආර්ථික වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සමාන ආර්ථිකයන් පවතින රටවල් ශීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව පෙන්වා දෙන මහ බැංකුව, අපනයන ප්‍රවර්ධනය, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය, අයවැය හිඟය හා ණය මට්ටම අඩුකර ගැනීම, සාධක වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණය, රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සහ රටෙහි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කිරීම යන අංශවල වර්ධනය කෙරෙහි ඇති බාධා විසඳීමට හා ආර්ථික වර්ධනය දියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඇති ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය පහළ මට්ටමක පැවතීම සඳහා විශාල වශයෙන් හේතු වී ඇති බව පවසයි.
ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීම සිදු නොකළ යුත්තක්
ශ්‍රී ලංකාවට ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස සාර්ථකත්වයට පත්වීමට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කරගැනීම සඳහා ආර්ථිකයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම තුළින් ආර්ථික වර්ධනය අඛණ්ඩ පහළ අගයක පැවතීමට හේතු වූ කරුණු සඳහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය බව මහ බැංකුව අවධාරණය කරයි. මෙම පසුබිම තුළ වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා වූ ජාතික අපනයන ක්‍රමෝපාය සහ නව වෙළෙඳ ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය ණය තිරසාරභාවය පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන සහ මිල ස්ථායීතාව තිරසාරව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා 2020 වසර වනවිට මහ බැංකුව නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇතුළත් වන, දැනටමත් හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම කඩිනම් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් ඒකාබද්ධ ප්රයත්නයක් දැරීම ඉතා වැදගත් වන බව මහ බැංකුව අවධාරණය කරයි. ඒ අනුව, මෙම ප්‍රතිසංස්කරණ නිසි කලට ස්ථාපිත කිරීම ඉන්දියන් සාගරයේ ආයෝජන සඳහා ඉහළ අවධානයක් ඇති ක්‍රමෝපායික පිහිටීමක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික පෙර දැක්ම හා අපේක්ෂාවන් වැඩි දියුණු කිරීම සඳහා පමණක් නොව, රටේ ජනතාවගේ සමස්ත ජීවන තත්ත්වය සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටද අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙන මහ බැංකුව, ශ්‍රී ලංකාව මැදිකාලීව ඉහළ හා ස්ථාවර වර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට යෑමට සහ දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පසුපසින් සිටි රටවල් සමග තරගකාරී වීමට නම්, මෙම ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීම සිදුකළ නොහැකි බව අවධාරණය කරයි.