ආර්ථික වර්ධනය ඇතිකර ගැනීම වෙනුවෙන් තාක්ෂණය කවරා කාරයෙන් සන්නද්ධ කරගත යුතුද යන්න පිළිබඳ වඩාත් උනන්දුවක් ඇති කරන සංවාදයක් 2019 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී (SLES) කරළියට පැමිණීමට නියමිතය.
මෙම ක්ෂේත්රයේ විශේෂඥයන් දෙපළක් වන සන්ජේ ජෙයින් සහ ජෑන් මෙට්ස්ගර් යන මහත්වරුන් මූලික කරගනිමින් මෙම සංවාදය සිදුවන අතර, සන්ජේ ජෙයින් යනු භාරත් නිවෝත්පාදන අරමුදලේ සහකරුවෙකු මෙන්ම, CIIE, IIMA හි ප්‍රධාන නවෝත්පාදන නිලධාරියාය. ඔහු ඉන්දියාව පුරා තාක්ෂණික ක්ෂේත්රයේ නවෝත්පාදන රැසකට දායක වූවෙකි. එමෙන්ම, ජෑන් මෙට්ස්ගර් යනු Citi Bank හි ආසියානු පැසිෆික් බැංකුකරණ, ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්රධානියාය. ඔහු, වාග් සංජානන පද්ධතීන් (Voice Recognision) සමග කටයුතු කර අත්දැකීම් ඇති, යුරෝපය තුළ තාක්ෂණික ආයෝජන බැංකු ක්ෂේත්රය 2000 වසරේ සිට ස්ථාපිත කිරීමට මුල පිරූවෙකි.
එමෙන්ම, මෙම සංවාදයේදී 'තාක්ෂණය ආර්ථිකයන් වෙනස් කරයි' යන මාතෘකාව යටතේ විද්වත් සාකච්ඡාවක්ද පැවැත්වෙන අතර, මෙය රටක ආර්ථිකයට තාක්ෂණයේ සෘජු බලපෑම එල්ල වන ආකාරය පිළිබඳ ගැඹුරින් සලකා බැලෙන අවස්ථාවක් ලෙස සංවිධායකයෝ පෙන්වා දෙති.
එහිදී, ආර්ථිකයන් වෙනස් කිරීම සඳහා තාක්ෂණයන්ට කළ හැකි කාර්යභාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීමටත්, මෙම පරිණාමනයන් සිදුකළ යුතු අංශ සහ ක්ෂේත්‍ර සම්බන්ධයෙනුත් අවධානය යොමුකිරීමටත් අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනයේදී තාක්ෂණයට අනුගතවීමේ වැදගත්කමත්, එහිදී, යොමුවිය යුතු අංශ හා ක්ෂේත්‍ර පිළිබඳවත් මෙම විද්වත් සාකච්ඡාවේදී ගැඹුරින් සාකච්ඡාවට බඳුන්වීමට නියමිතය.
මෙම විද්වත් සාකච්ඡාව සඳහා ඩයලොග් ආසියාටා හි ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිගුමාල් තේවරතන්ත්‍රී, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පණ්ඩුල සිරිබද්දන, සිංගප්පූරුවේ මැකෙන්සි ඇන්ඩ් සමාගමේ හවුල්කාර වින්ද්‍යා ග්නේෂන්, WSO2 හි ආදිකර්තෘ සහ සභාපති සංජීව වීරවරණ යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිත අතර, ඔරියන්ට් ඩිවෙලොප්මන්ට් (පෞද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා විසින් විද්මත් සාකච්ඡාව මෙහෙයවනු ඇත.
2019 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන සැප්තැම්බර් මස 17 සහ 18 යන දිනයන්හි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේදී පැවැත්වීමට නියමිතය.