වාහන-පොලු, ශීතකරණ-පොලු, ටීවී-පොලු, ෆෑන්-පොලු, සපත්තු-පොලු දැනටමත් ආර්ථිකයට යොදා ඇති බවත්, සියලුම ආනයනික භාණ්ඩවල මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා සහ විනිමය කොමිසමේ හිටපු සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය විසින් ඊයේ (08දා) කොළඹදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වත්මන් රජය විසින් ආර්ථිකය විනාශ මුඛයට යොමුකර ඇති බව ඔවුහු අවධාරණය කළහ. මේ වනවිට රටේ ණය තොගය රු.ට්‍රිලියන 7 සිට 12 දක්වාත්, ණයබරතාව 71% සිට 87% දක්වාත්, පොලී අනුපාතය 50%කින් පමණත් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්හ. දැවැන්ත ලෙස රුපියල කඩා වැටෙද්දී, බැංකු, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අස්ථාවර තත්ත්වයට පත්වෙමින්, බොල් ණය ඉහළ යන බවද ඔවුන්ගේ මතය විය. රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා වියදම් පියවීමට රජය පිඹුරුපත් සකසන වටපිටාවක, බැඳුම්කර මගඩිය ඇතුළු දැවැන්ත දූෂණ රැසක් සිදුකළ අතට හසුවන හොරු පවා නිදැල්ලේ හැසිරෙන බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර, රටේ ණය තත්ත්වය භයානක තැනකට තල්ලු වෙමින් අවප්‍රමාණය වන සෑම රුපියලක් වෙනුවෙන්ම, ණය තොගය රු.බිලියන 35කින් ඉහළ යන බව සඳහන් කළ ඔවුන්, දළ දේශීය නිෂ්පාදිතය වංචා සහගතව පිම්බීමෙන් ණයබරතාව ඇතුළු අනෙකුත් සියලුම ප්‍රතිශත වංචාකාරී ලෙස හසුරුවා ඇති බවද සඳහන් කළේය. එමෙන්ම, රුපියල අවප්‍රමාණය වීම නිසා පසුගිය වසර 3යි, මාස 9ක කාලය තුළ රු.බිලියන 1,204කින් ණය තොගය වැඩිවී ඇති බවත්, රටේ විදේශ ණය ප්‍රතිශතය ඉහළ ඉහළ ගොස් ඇති බවත් ඔවුන් පෙන්වා දුන්හ.
රුපියලේ දැවැන්ත බාල්දුවීම සලකා බැලීමේදී, 2006 – 2014 අතර කාලයේදී රුපියල අවප්‍රමාණය වී ඇත්තේ වසරකට 2.8%ක් පමණක් වුවද, වත්මන් රජය යටතේ අවප්‍රමාණය වසරකට 9.1%ක් බවද ඔවුහු සඳහන් කළහ. මේ වෙනුවෙන් මහ බැංකුවේ මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක තිබුණද, රුපියල මේ වනවිට අවප්‍රමාණය පෙර නොවූ මට්ටමකට පත්ව ඇති බවත්, රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජයට සහ මහ බැංකුවට මේ වනවිට කිසිදු ශක්තියක් නොමැති බවත් පෙන්වා දුන්හ. මේ තත්ත්වය තුළ වත්මන් රජය සහ මහ බැංකුව තමන්ගේ වගකීම පැහැර හරිමින් රුපියල රැකගැනීමට කටයුතු නොකළ බවද ඔවුන්ගේ මතය විය.
එමෙන්ම, වාහන-පොලු, ශීතකරණ-පොලු, ටීවී-පොලු, ෆෑන්-පොලු, සපත්තු-පොලු මේ වනවිට ආර්ථිකයට යොදා ඇති බවත්, සියලුම ආනයනික භාණ්ඩවල මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔවුහු සඳහන් කළහ. තෙල් මිල සහ එම මිල මත පදනම් වන සියලුම භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පරිසරයක, වසරකට ඇ.ඩො.බිලියන 21ක් ඔස්සේ ආර්ථික කටයුතුවල යෙදෙන සියලුම ගනුදෙනුකරුවන් දැවැන්ත අර්බුදයක බවත්, ව්‍යාපාර රැසක් ඉදිරි මාස කිහිපය තුළදී වැසීයාමේ අවදානමක් පවතින බවත් ඔවුහු පවසා සිටියහ.
මේ වනවිටත් රටේ පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින නිසා ව්‍යාපාරවල යෙදෙන සියලු දෙනා දැඩි අනතුරක බව සඳහන් කළ ඔවුන්, සාමාන්‍ය ණයක් ගන්නා පුරවැසියෙක් පවා විශාල අර්බුදයක බව සිහිපත් කළේය. එමෙන්ම, රුපියලේ අවප්‍රමාණය වීම වැළැක්වීමට මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතය ඉහළ දැමිය යුතුව තිබුණද, තවදුරටත් වර්ධනයට බාධා එල්ල කළ නොහැකි නිසා පොලී අනුපාත ඉහළ දැමීමෙන් වැළකී සිටින බවද ඔවුහු සඳහන් කළහ. එසේම, ලබාගත් ණය ගෙවා ගැනීමට ගනුදෙනුකරුවන්ට නොහැකි වීම නිසා බැංකු සහ මූල්‍ය ආයතනවලට විශාල අවදානමක් දැරීමට සිදුවනු ඇති බවද ඔවුන්ගේ මතය විය.
මෙවැනි ආර්ථික වාතාවරණයක් තුළ මීළඟට සිදුවන්නේ තවදුරටත් ව්‍යාපාර කඩා වැටීම බව පෙන්වා දුන් ඔවුන්, රජය බලාපෙරොත්තු වන බදු ආදායම නොලැබෙන බවත්, සියලුම විදේශීය ආයෝජකයන් හැකි ඉක්මනින් පාඩුවට හෝ තම ආයෝජන විකුණා, මුදල් රටින් පිටට ගෙනියනු ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම, ණයබරතාව තවදුරටත් දරුණු අන්දමට වර්ධනය වනවිට, රුපියල තවදුරටත් කඩා වැටෙමින්, පොලී අනුපාත ශීඝ්‍රයෙන් වැඩිවනු ඇති බවද ඔවුහු සඳහන් කළහ.
ඉන් නොනැවතී කොටස් වෙළෙඳ පොළෙහි කඩා වැටීමක්, රැකියා සහ ජීවනෝපාය තත්ත්වයන් අහිමි වීමක්, අතීතය සිහි ගන්වන පොලිම් යුගයක් බිහිවීමේ අවදානමක් ගැනද ඔවුහු සිහිපත් කළහ. එහිදී, අසහන තත්ත්වයෙන් පෙළෙන සහ ආර්ථික පීඩාවට ගොදුරුවී ඇති පුද්ගලයන් පාරට බැසීම හෝ පාරට වැටීම සිදුවන බවත්, වැඩවර්ජන යුගයක් සමග රජය ජනතාව මර්ධනය කරන යුගයක් වැඩි ඈතක නොවන බවද ඔවුහු පවසා සිටියහ.
රට මේ මොහොතේ මුහුණදෙමින් සිටින වත්මන් ආර්ථික උගුලෙන් ගැලවීමට නම්, ආර්ථිකයට නව පණක් ලබාදීමට අවශ්‍ය බව කබ්රාල් සහ ගොඩහේවා යන මහත්වරුන්ගේ මතය විය. ඒ සඳහා ආර්ථිකයේ සියලු කොටස්කරුවන් දිරිගැන්විය යුතු බවත්, බදු අවම වශයෙන් 25%කින් අඩු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඉන් නොනැවතී, රුපියල ස්ථාවර කරගනිමින්, පොලී අනුපාතය අඩුකර ගත යුතු බවද ඔවුන් සිහිපත් කළහ. බැංකු ක්ෂේත්රය අස්ථාවර කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැනි ව්‍යාපෘතිවල සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියාවන් වහා නැවැත්විය යුතු බවද පෙන්වා දුන් ඔවුන්, විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගනිමින්, රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.