ශ්‍රී ලංකාවේ යාත්‍රා නිෂ්පාදන කර්මාන්තය විදේශ විනිමය ඉපැයීමේ ප්රමුඛ කර්මාන්තයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ වනවිටත් කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ යාත්‍රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යථාර්ථයක් කිරීමට අවශ්‍ය තරම් සුදුසුකම් පැවතීම ඊට හේතුව බවද පවසන එම ආයතනය, අවශ්‍ය වන්නේ දැක්මක් හා මතවාදයක් පමණක් බව කියයි.
ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට පිහිටිවහලක් කරගත හැකි බවත්, සේද මාවත හරහා දිනකට යාත්‍රා 200කට වැඩි සංඛ්‍යාවක් ගමන් කරන අතර, එම යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් විශාල ආදායමක්ද ඉපැයීමට හැකියාව පවතින බවද කියයි.
එහිදී, ජලය, ඉන්ධන, ආහාර, ආරක්ෂාව ආදී සියල්ල සැලසීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවත්, අවශ්‍ය වන්නේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ක්‍රමවත් නීති පද්ධතියක් ස්ථාපිත කිරීම පමණක් බවද පෙන්වා දෙයි. ඒ නිසා, මෙම ක්ෂේත්රය, අපනයන ඉලක්ක වෙත ශ්‍රී ලංකාව පහසුවෙන්ම රැගෙනයා හැකි ක්ෂේත්රයක් වන අතර, දේශීය ආයොජකයන් සේම විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ ශක්‍යතාවක් ඇති කර්මාන්තයක් බවද පෙන්වා දෙයි.
මෙම අංශයේ නිමැයුම් පෙළ ප්‍රධාන වශයෙන් අංශ 4කින් සමන්විත වන අතර, සංචාරක යාත්‍රා, මගී යාත්‍රා, ධීවර යාත්‍රා සහ නාවික හා වෙරළ ආරක්ෂක යාත්‍රා ඒ අතර වෙයි. එහිදී, ශ්‍රී ලංකාව වටා ඇති සුන්දර මුහුදු තීරයද, අභ්‍යන්තර ජල සම්පත් නිසාද පරිසර හිතකාමී යාත්‍රා කර්මාන්තයක් මගින් ධන උත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි බව පවසන ඔවුන්, මේ සම්පත්වලින් අප රටක් ලෙස තවමත් ප්‍රයෝජනයට ගෙන නොමැති වුවද වර්තමානයේ ඒ සඳහා වැඩි අවකාශයක් නිර්මාණය වී ඇති බවද කියයි. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ නැගී එන සංචාරක කර්මාන්තයක් ඇති හෙයින් තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීම සඳහා මුහුදු සංචාර, ජල ක්‍රීඩා, කිමිදීම ආදිය සඳහා මෙන්ම පාවෙන නවාතැන් හා අවන්හල් මෙන්ම රුවල් යාත්‍රා හා සංචාරක යාත්‍රණ සඳහා පවතින ඉල්ලුම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති බවද පෙන්වා දෙයි. ඒ සඳහා බෝට්ටු ඉදිකිරීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනය (B.T.I.) කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සූදානමින් ඇති බවත්, යාත්‍රා කර්මාන්තයේ ආයෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාවට ඇති බවත් පවසා සිටියි.
එමෙන්ම, ශ්‍රී ලංකාව දැනට ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය ,පාකිස්ථානය, සීෂෙල්ස් වැනි රටවලට යාත්‍රා අපනයනය කරන අතර, අසල්වැසි ඉන්දියාවට කුඩා ප්‍රහාරක යාත්‍රා අපනයනය කරන බවත්, ටැන්සානියාවටද බෝට්ටු අපනයනය කර ඇති බවත් කියයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ලෙස ඔවුන් මෙම කර්මාන්තයේ අනාගතය පිළිබඳ අවබෝධ කරගනිමින් එහි සුබසිද්ධිය උදෙසා නව පියවර රැසක් ගෙන තිබේ. එනම් මෙම කර්මාන්තයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීම සඳහා ජාතික නීති පද්ධතියක් හඳුන්වාදීම එහි ප්‍රධාන වෙයි. මේ සඳහා ඊට අනුබද්ධ සියලුම ආයතන සම්බන්ධ කරගනිමින් 2019 වසර අවසන් වීමට ප්‍රථම මෙම නීති පද්ධතිය සකස් කිරීමට EDBහි බලාපොරොත්තුවයි. ඒ තුළින් ජාත්‍යන්තර පිළිගැන්ම මෙන්ම මෙම කර්මාන්තයට වෘත්තීයභාවයක්ද එක්වනු ඇති බවත්, ලියාපදිංචිවීමේ සිට අපනයනය දක්වා විධිමත්භාවයක් ගොඩනැගෙනු ඇති බවත් කියයි. එසේම ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මට අනුව අලුතින් සංවර්ධනය කිරීමට තෝරාගත් ක්ෂේත්‍ර හයෙන් එක් වැදගත් ක්ෂේත්රයක් ලෙස (යාත්‍රා) බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන එය සංවර්ධනය කිරීම සඳහා මේ වනවිට වැඩකටයුතු සිදුවෙමින් පවතින බවද සඳහන් කරයි.
රට අභ්‍යන්තරයේ ප්‍රවාහන කර්මාන්තයටද මෙය ආශිර්වාදයක් කරගත හැකි බව පෙන්වා දෙන ඔවුන්, තේ, පොල්, රබර් සාම්ප්‍රදායික කර්මාන්ත මත දහසක් බලාපොරොත්තු තබාගැනීම වෙනුවට රටට නැවුම් බලාපොරොත්තු එක්කරගත හැකි බව පෙන්වා දෙයි. කුඩා බෝට්ටු කර්මාන්තය මෙන් මහා පරිමාණයේ යාත්‍රා සඳහා පවතින ඉල්ලුමද දිනෙන් දින වර්ධනය වන හෙයින් ආර්ථික වාසි තවතවත් වැඩිවනු ඇති බවත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.srilankabusiness.com හෝ www.srilankaboating.com වෙත පිවිස ලබාගත හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.