විදුලිබල මණ්ඩලය දිවා කාලය තුළ විදුලිය කපා දැමීමට තීරණය කිරීමෙන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙන්ම, සමාගම්වලට දැඩි අපහසුතාවක් ඇතිව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත්, මහා පරිමාණ කර්මාන්තශාලා බොහෝමයක ජෙනරේට් භාවිත කරන බැවින් ඔවුන්ට මෙය විශාල වශයෙන් බල නොපෑවත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට එය බොහෝ සෙයින් බලපාන බවද ඔවුහු පවසති. එසේම, විදුලිය කපා දැමීමේ නිසි කාල සටහනක් නොතිබීම නිසාද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බරපතළ තත්ත්වයකට මුහුණදී සිටින බව පවසන ඔවුන්, රටේ සිදුවන අක්‍රමවත් විදුලිය කප්පාදුව මෙම කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරන අතරම, නිෂ්පාදන සැලසුම් ඵලදායී නොවීමටද එය හේතුවක් වන බව පෙන්වා දෙති. මෙම තත්ත්වය නිසා අපනයන නිෂ්පාදන මධ්‍යස්ථානවලට ඒවා කලට වේලාවට මුදාහැරීමට නොහැකි වීමෙන්, අනාගත අපනයන අවස්ථාද අහිමි වී යා හැකි බවත්, තවද, ඍජු විදේශීය ආයෝජන සඳහා මෙම තත්ත්වය අහිතකර ලෙස බලපාන අතර, ව්‍යාපාර කිරීමේ දර්ශකය සඳහාද ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔවුහු පවසති.
ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම අතර ඇති වී තිබෙන මතභේදය, බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවක් වන බැවින් එය වහා විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති. එමෙන්ම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වන්නේ අඛණ්ඩව විදුලි බල අයිතිය ලබාදීම වන බැවින්, සුදුසුකම් ලත් විශේෂඥයන් හා පරිසර අධිකාරියේ බලධාරින් ලවා ගල් අඟරු, LNG, සුර්යය හා සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අවධානය යොමු කිරීම බවද ඔවුහු පෙන්වා දෙති.
මේ වනවිට උදෑසන හා සවස් කාලයේ විදුලි කප්පාදුව සිදුකරමින් පවතින බැවින්, අවම වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට මහා පරිමාණ කර්මාන්තවලට හා හෝටල් ආදියටවත, ඔවුන්ගේ ජෙනරේටර කට්ටල භාවිත කිරීම සඳහා ගෙවීමක් මත ඉඩ ලබාදීම, ඉහළ මිලකට පෞද්ගලික විදුලි ජනනාගාරවලින් විදුලිය මිලදී ගැනීමට වඩා යහපත් දෙයක් බවද ජාතික වාණිජ මණ්ඩලයේ අදහස වී තිබේ.