මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ඉක්මනින් වර්ෂයකට එක්සත් ජනපද ඩොලර් බිලියනයක් උපයන කර්මාන්තයක් බවට පත්විය යුතු යැයි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
ජනාධිපතිවරයා වෙනුවෙන්, පසුගියදා පැවති මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින්, මෙම කර්මාන්තයට දීර්ඝ කාලීනව කැපවී සිටීම සහ එය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් කර්මාන්තයේ යෙදී සිටි සියල්ලන්ට ප්‍රශංසා කිරීමටද අමාත්‍යවරයා මෙහිදී අමතක නොකළේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය අර්බුදයකට මුහුණපා සිටි අවස්ථාවේදී මැඩගස්කරයේ මැණික් සම්පත් ප්‍රයෝජනයට ගැනීමට එම කර්මාන්තකරුවන් කළ උත්සාහය වැනි නව මංපෙත් සෙවීම් පිළිබඳවද අමාත්‍යවරයා ප්‍රශංසා මුඛයෙන් කතා කළේය.
ශ්‍රී ලංකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය, විශේෂයෙන් නැගෙනහිර වෙරළ ආශ්‍රිතව සහ උතුරු මැද පළාතේ නව ඛණිජ සම්පත් නිධි සොයාගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එම සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට සැලැස්වීම රජයේ යුතුකම බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම, ශ්‍රී ලංකා රුපියලේ අගය පවත්වාගෙන යෑම සඳහා විදේශ විනිමය ඉපැයීම විශාල ලෙස වර්ධනය කිරීම අද අත්‍යවශ්‍යව ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට විශාල දායකත්වයක් සැපයිය හැකි බවද පෙන්වා දුන්නේය.