කුරුණෑගල හරහා මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වෙමින් පවතින අතර, උතුරු අධිවේගී මාර්ගය ඉදිරියට යන බවත්, මෙවර අයවැය මගින් රත්නපුර අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව සතුටින් ප්‍රකාශ කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
ආණ්ඩුව රට ණය උගුලක සිර කරමින් සිටින බවට ඇතැමුන් චෝදනා කළද සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරාගත්තේ වත්මන් ආණ්ඩුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මංගල සමරවීර මහතා මෙසේ අදහස් දක්වා සිටියේ ඇඹිලිපිටිය, ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 19දා එක්වෙමිනි. අනුරාධපුරය, මන්නාරම, බුත්තල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මීට පෙර මෙවැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. ඒ අනුව, 5 වැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ලෙස විවෘත කෙරුණ මේ සඳහා වැයකර ඇති මුදල රු.මිලියන 285කි. ඉදිරියේදී මෙවැනි තවත් ධාන්‍යාගාරයක් පොළොන්නරුවෙහි විවෘත කිරීමට සැලසුම් කර තිබේ. වී ඇතුළු ධාන්‍ය වර්ග රැසක් ගබඩා කිරීමේ පහසුව මෙහි පවතින අතර, ඒවා ගබඩාකර තබා වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමට ගොවීන්ට මෙමගින් අවස්ථාව උදාවේ. මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආණ්ඩුව මේ වනවිට සංවේදී සංවර්ධන ක්‍රියාවලියක නිරතව සිටිනවා. මීට පෙර අපි දැක්ක සංවර්ධනය ඇත්තම ජනතාවාදී එකක් නොවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් එදා ආණ්ඩුව රු.කෝටි 7,000ක් වැය කර තිබුණා. නමුත් අදටත් වැසිකිළි නැති නිවාස 20,000ක් හම්බන්තොට තියෙනවා. මුළු රටේම නිවාස ලක්ෂ 10කට වැසිකිළි පහසුකම් නෑ.
කුරුණෑගල හරහා මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වෙමින් තියෙනවා. උතුරු අධිවේගී මාර්ගය ඉදිරියට යනවා. මෙවර අයවැය මගින් අපි රත්නපුරේ අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව මා ඉතාම සතුටින් කියන්න කැමැතියි.
අනුන්ගේ සංවර්ධනය වෙනුවෙන් අපි නම් ගහගන්නේ නෑ. අනුන්ගේ ළමයින්ට අපි නම් තියන්න යන්නේ නෑ. අනුන් කරපු සංවර්ධන වැඩසටහන් අපි නවතන්න යන්නෙත් නෑ. නමුත් අපි ඒවා විවෘත කරන අවස්ථාවේදී මේ අහවල් කාලයේදී පටන් ගත්ත සංවර්ධන වැඩසටහනක් යැයි කියනවා. අපි අනුන්ගේ වැඩවලින් ලකුණු දාගන්න සූදානම් නෑ. එදා මට මතකයි, දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි තියපු මුල්ගල නිල්වලා ගඟට දාලා, පැවැති ආණ්ඩුව ඒ මාර්ගය විවෘත කරපු ආකාරය.
එදා හදපු නැවු එන්නේ නැති වරායවල් අපි ලාභ ලබන තත්ත්වයට පත් කරවනවා. රැකියා ඇති කරවනවා. හම්බන්තොට වරායේ එදා 200ක් හිටපු සේවක සංඛ්‍යාව අද 600ක් දක්වා වැඩිකර තියෙනවා. ඉදිරියට ඒ සංඛ්‍යාව තවත් වැඩි වේවි.
අපි ණය උගුලක රට හිර කරනවා යැයි ඇතැම් අය චෝදනා කරනවා. ඇත්තෙන්ම, චීන ණය උගුලෙන් රට බේරාගත්තේ අපි. කොළඹ වරාය නගර ව්‍යාපෘති ගිවිසුම තිබුණේ, ඒ ඉඩම සින්නකර චීනයට ලියලා. ගොඩබිම විතරක් නෙවෙයි, ගුවන් සීමාවත් ඔවුන්ට ලබාදීලා තිබුණා. ඔවුන්ගෙන් අවසර අරගෙන තමයි, ඒ ගුවන් සීමාව පාවිච්චි කරන්නත් අවස්ථාව තිබුණේ. ස්වාභාවික අපදාවක් වෙලා ඒ භූමියට හානියක් වුණොත්, ඒ හානියටත් වන්දියක් ගෙවන්න ඒ ගිවිසුම මගින් අපි බැඳිලා හිටියා. ඒ සියල්ල අපි වෙනස් කළා.
අද ඩොලරය මොන තත්ත්වයේ තිබුණත් අපි සංවර්ධනය නවත්වලා නෑ. මේ වෙද්දි ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 48,000ක් මේ මොහොත වෙද්දි ක්‍රියාත්මක වෙනවා. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ රටේ තරුණ ව්යවසයකන් 30,000කට ආසන්න පිරිසකට සහන පොලී ණය ලබාදීලා තියෙනවා. අපේ ඉලක්කය වසරක් ඇතුළත තරුණ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමයි" යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී ගොවීන් පිරිසකට සංඛේතාත්මකව ගුදම් කුවිතාන්සි සහ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය ලබාදීම සිදුකෙරුණි. එමෙන්ම, උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ඇඹිලිපිටිය නගරාසන්නයේ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන මාර්ග සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමටද සහභාගී වූහ.
මෙම අවස්ථාවට තලතා අතුකෝරාළ, ඉරාන් වික්‍රමරත්න, දුනේෂ් ගන්කන්ද, කරුණාරත්න පරණවිතාන යන මැති ඇමැතිවරු සහභාගී වූහ. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහ ප්‍රතිලාභීන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.