ශ්‍රී ලංකා මහ බැංකුව ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම් සමග එක්ව ක්‍රියාත්මක කරන රට පුරා QR ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා කොළඹදී උත්සාවාකාරයෙන් දියත් කෙරිණි.
මෙම දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ වාසිය, පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, ශ්‍රී ලංකාව මුදල් නොට්ටු රහිතව ගනුදෙනු කරන සමාජයක් බවට පරිවර්තනය කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරා ජනතාව මූල්‍යකරණය තුළට ඇතුළත් කරගැනීම මෙහි අනෙකුත් අභිලාෂයයි.
බත්තරමුල්ල, දියත උයනේ පැවතිමේ අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා වශයෙන් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනී ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩී. කුමාරතුංග සහ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කළ LANKAQR කමිටුවේ සභාපති තිලක් පියදිගම යන මහත්ම මහත්මීන් ඇතුළු ගෞරවණීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.
කොළඹ ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු හා මූල්‍ය ආයතන සහභාගී වූ අතර, ඒ හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල LANKAQR ඩිජිටල් ගෙවීම් ක්‍රමය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කෙරිණි. මෙම වැඩසටහන යටතේ කොළඹ නගර සීමාවේ සහ තදාසන්න ප්‍රදේශවල තෝරාගත් වාණිජ ස්ථානවල ප්රවර්ධනයන් ගණනාවක් ක්‍රියාත්මක විය.