ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගම් නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලයද එක්ව, 'යුරෝපා සංගමයට ශ්‍රී ලංකා අපනයන, GSP+ බලපෑම' යන කරුණු පිළිබඳව අර්ධ දින සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබිණි.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවෙක් බවට පත්ව ඇති බවත්, අපනයන සඳහා අංක එකේ ගමනාන්තයක් බවටද පත්ව ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම, 2017 මැයි මස සිට GSP+ තීරුබදු රහිත ප්‍රවේශය නැවත ලබාදීමෙන් පසුව යුරෝපා අපනයන මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් ආදායම වැඩි වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි. කෙසේ වෙතත්, GSP+ තීරුබදු රහිත ප්‍රවේශය තුළින් අපනයන දෙස බලන ආකාරයෙන්ම, යුරෝපා සංගමයෙන් ආනයන හා ආයෝජන ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම පිළිබඳවද මෙහිදී යුරෝපා සංගම් නියෝජිතයෝ පෙන්වා දුන්හ. එමෙන්ම, වර්ෂ 2023 දී දැනට පවතින තීරුබදු රහිත ප්‍රවේශය අවසන් වීමෙන් පසුව, යළිත් එවැනි ප්‍රවේශයක් හෝ ඉන් ඔබ්බට යළි සලකා බැලීම අතීත තත්ත්වයන් විමසීමෙන් පසුව තීරණය වනු ඇති බවද ඔවුහු කියා සිටියහ.
මෙහිදී, ක්‍රියාත්මක කිරීම, අභියෝග සාකච්ඡා කිරීම හා යුරෝපා සංගමයට සමස්ත ශ්‍රී ලංකා අපනයන වැඩිකිරීම වෙනුවෙන් තවදුරටත් ගතයුතු පියවර හඳුනා ගැනීම පිළිබඳවද සමාලෝචනය කෙරුණු අතර, මෙම වැඩසටහනේදී යුරෝපා සංගමය GSP+ හා එහි ප්රතිලාභ, කම්කරු ප්රමිතීන් සඳහා ආර්ථික සිද්ධි, වෙළෙඳ හා යුරෝපා සංගමය - ශ්‍රී ලංකා වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ ගෝලීය ප්රවණතා සහ යුරෝපා සංගමයේ GSP+ ප්රතිලාභ ප්‍රයෝජනයට ගැනීම යන මාතෘකා යටතේ විද්වත් සාකච්ඡා කිහිපයක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්රීඩ්, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් නිමල් කරුණාතිලක, නියෝජ්‍ය අධ්යක්ෂ රුවන්ති ආරියරත්න ඇතුළු තවත් යුරෝපා සංගම් සෙසු නියෝජිතයන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් සහ ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.