මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සඳහා දැන් මාර්ගගත පද්ධතියක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය හඳුන්වා දී ඇත. එමෙන්ම, මෙම පද්ධතිය තුළින් මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි විධිමත් සහ ප්‍රමිතිගත ආකාරයකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, එමඟින් එම පැමිණිලි වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමටත් නියමිත කාලය තුළ නිරාකරණය කිරීමටත් සහායවනු ඇත.
මෙමඟින්, මුද්‍රිත ලියවිලි පදනම්ව කරනු ලබන ක්‍රියාකාරකම් අවම කරන අතර, ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගනිමින් පැමිණිලි කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් කරයි. මෙම පද්ධතිය 24/7 ක්‍රියාත්මක වන බැවින්, මූල්‍ය පාරිභෝගිකයින්ට සිය පැමිණිලි තමන්ට පහසු ඕනෑම වේලාවක යොමු කිරීමට අවස්ථාව ලැබේ. තවද, තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව දැනගැනීමට මූල්‍ය පාරිභෝගිකයින්ට හැකියාව ලබාදෙන අතර, ඒ තුළින් පැමිණිලි නිරාකරණ ක්‍රියාවලිය පුරා ඉහළ විනිවිදභාවයක් සහතික කෙරේ.
මුල් අවස්ථාවේදී මූල්‍ය පාරිභෝගිකයන් විසින් සිය පැමිණිලි හා දුක්ගැනවිලි සෘජුවම අදාළ මූල්‍ය සේවා සපයන්නන් වෙත යොමුකළ යුතුය. එම පැමිණිලි මූල්‍ය සේවා සපයන්නන් විසින් විසඳීමට අපොහොසත් වුවහොත් හෝ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව පාරිභෝගිකයන් විසින් සෑහීමකට පත් නොවනවිට එම පැමිණිලි, මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමුකිරීමට හැකියාව ලැබේ.
කාර්යක්ෂම ලෙස පද්ධතියෙහි කටයුතු සිදු කිරීම පහසු වනු පිණිස, ඉදිරිපත් කරනු ලබන සියලු තොරතුරුවල පැහැදිලිතාවය, නිවැරදි සහ සම්පූර්ණ බව සහතික කරන ලෙසත්, ඊට අදාළ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් මෙම පද්ධතිය භාවිත කරන සියලු දෙනා වෙත උපදෙස් දෙනු ලැබේ.
මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතියට http://reachus.cbsl.lk/ යන සබැඳිය හරහා ප්රවේශවීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
