මහ බැංකුව ජුනි වෙළෙඳ පොළ මෙහෙයුම් වාර්තාව පළ කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 ජූලි මස 31 වැනි දින නවතම ‘වෙළෙඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත්කොට තිබේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්රමයක සහාය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම වෙළෙඳ පොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.
‘වෙළෙඳ පොළ මෙහෙයුම් වාර්තාව - 2026 ජුනි’ මඟින් 2026 වසරේ ප්‍රථම භාගය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, ද්‍රවශීලතා ප්රවණතා, කෙටිකාලීන පොලී අනුපාතික සහ විනිමය අනුපාතිකයෙහි හැසිරීම මෙන්ම මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් වෙළෙඳපොළ සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරයි. තවද, එහි කාලෝචිත මාතෘකා පිළිබඳ විශේෂාංග ලිපි දෙකක්ද අඩංගු අතර, වෙළෙඳ පොළ මෙහෙයුම් කටයුතු සහ ක්‍රියාකාරකම් පිළිබඳව තෝරාගත් දර්ශක ද ඇතුළත් වේ.
සුවිශේෂී සිදුවීම්
- මහ බැංකුව, මිල ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා 2026 වසරේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කළේය. සාර්ව විචක්ෂණශීලී සහ විදේශ විනිමය සම්බන්ධ ක්‍රියාමාර්ග සමග මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම විදේශ අංශයේ ස්ථායීතාව සඳහා උපකාරී විය.
- ප්‍රධාන වශයෙන්, මහ බැංකුව විසින් සිදුකරන ලද ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් දේශීය මුදල් වෙළෙඳ පොළෙහි ද්‍රවශීලතාව අඛණ්ඩ අතිරික්තයක පැවතුණු අතර, ඇතැම් අවස්ථාවල ද්‍රවශීලතාව අඩු වීමක්ද වාර්තා විය.
- මුදල් ප්රතිපත්තියෙහි සඵලදායී සම්ප්‍රේෂණය පිළිබිඹු කරමින් හා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන්, 2026 වසරේ පළමු භාගය තුළ කෙටිකාලීන පොලී අනුපාතික ඉහළ යෑමක් සිදු විය.
- ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම, කෙටි කාලීන පොලී අනුපාතික හැසිරවීම සහ මුදල් හා විදේශ විනිමය වෙළෙඳ පොළවල සුමට තත්ත්වයන් පවත්වා ගැනීම සඳහා මහ බැංකුව සිය මුදල් මෙහෙයුම් කටයුතු පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක කළේය.
- 2026 වසරේ පළමු භාගයේදී, ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම සහ විදේශ විනිමය සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් විනිමය අනුපාතිකය තරමක අවප්‍රමාණයවීමේ පීඩනයකට ලක්විය.
- අධික විනිමය අනුපාතික උච්චාවචන පාලනය කිරීම සහ අවස්ථානුකුලව විදේශ විනිමය සංචිත රැස්කර ගැනීම දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ මහ බැංකුව මැදිහත්වීමේ ප්‍රධාන අරමුණ විය.
- විදේශීය අංශයේ අවිනිශ්චිතතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් දේශීය අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳ පොළෙහි ගනුදෙනු ක්‍රියාකාරකම් මන්දගාමී වුවද, එම කාල සීමාවේ අවසාන භාගය වනවිට වෙළෙඳ පොළ ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්විය.
- 2026 වසරේ පළමු භාගයේදී රුපියල් තැන්පතු වගකීම්වල වර්ධනය මන්දගාමී වූ අතර, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා රාමුව සඳහා හඳුන්වා දුන් නවීකරණ, සංචිත කළමනාකරණය ශක්තිමත් කළ අතර, මුදල් මෙහෙයුම්වල සඵලදායීතාව වැඩි දියුණු කළේය.
- සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් සහ සංචිත මුදල් ඉහළ ගියේය.
- 2026 වසරේ පළමු භාගයතුළදී මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් තොගය සුළු වශයෙන් පහළ ගියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
