2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 අගෝස්තු 01 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග අවබෝධතා ගිවිසුමකට එලැඹ තිබේ.
රක්ෂණ අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ, අවදානම මත පදනම් කරගත් අධීක්ෂණය තුළින් අනාවරණය වූ තොරතුරු හුවමාරු කරගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ඩී.එම්.රූපසිංහ මහතා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති මනෝ තිත්තවැල්ල මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.
දේශීය හා ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට තර්ජනයක් වන, මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම හා ඊට සම්බන්ධිත අනෙකුත් මූල්‍ය අපරාධ වැළැක්වීමේ ජාතික යාන්ත්රණයට අනුකූලවීම සඳහා රක්ෂණ ක්ෂේත්රයේ සහභාගීත්වයද ඉතා වැදගත් වේ. රක්ෂණ ක්ෂේත්රයෙහි නියාමන හා පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් එම ක්ෂේත්රය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුවට අනුකූල කරවීම සඳහා, අවදානම මත පදනම් වූ අධීක්ෂණයන් සිදුකර, එම අධීක්ෂණයන් තුළින් අනාවරණය කරගන්නා තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය සමග හුවමාරු කරගනු ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා, තොරතුරු හුවමාරු කරගැනීමේ අරමුණ ඇතිව මූල්‍ය බුද්ධි ඒකකය මේ වනවිට, විදේශීය පාර්ශ්ව 37ක් සමග මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යන දේශීය රාජ්‍ය ආයතන 6 සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇත.
2018 අගෝස්තු 01 වැනි දින මූල්‍ය බුද්ධි ඒකකය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අත්සන් තබන ලද අවබොධතා ගිවිසුම හරහා, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ අධීක්ෂණයන්ට අදාළ තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවන අතර, එමගින්, මෙම ආයතන දෙකෙහිම නියාමන/අධීක්ෂණ හැකියාව වැඩිදියුණු කරගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.