ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේ එහි වාසිය ජනතාවට ලබාදීමට වුවත්, අවාසනාවකට එදා සිට ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල ඉහළ ගිය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාස බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි මිල සූත්‍රය හඳුන්වා දුන්නා. එහි වාසිය ජනතාවට දෙන්නෙ. අවසනාවකට එදා ඉඳල ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඒක අඩු වුණොත් ඒ වාසිය නිසැක වශයෙන්ම මේ සූත්‍රය යටතේ ලැබෙන්නේ ජනතාවට. එදා තෙල් බැරල් එක අඩුම මට්ටමට වැටිල තියෙන වෙලාවේ උසාවියෙන් මිල අඩු කරන්න කියල දීපු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරනවා.
අපි ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් සොයා බලද්දි අපිට ලැබුණු සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ වැසිකිලි නැති නිවාස සංඛ්‍යාව 231,000ක් තියෙනවා. වැව් කැඩිලා. පාසල් අබලන් වෙලා. ඒත් එදා, නැව් නැති වරායවල්, මොණරු එන ගුවන් තොටුපොළවල් හැදුවා. 1997 දී මමයි, ෆවුසි ඇමැතිතුමයි දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල තිබ්බෙ. පස්සෙ අක්මීමනදී ඒකට නඩුවක් වැටුණා. ඒ නිසා වැඩ පමා වුණා. ආණ්ඩු පෙරලුණා. 2001 ආණ්ඩුවෙන් නැවත වැඩ පටන් ගත්තා. 2004 දී ආපු මහින්ද මහත්තයා මේක ඉවර කළා. අන්තිමට 1997 දී අපි තිබ්බ මුල් ගල නිල්වලා ගඟට විසි කරල තමයි, මේක විවෘත කළේ." යැයි පවසා සිටියේය.