මනෝ විද්‍යාත්මක උපදේශන සේවා නියාමනයට දොරගුළු ඇරෙන යුගයක්

වර්තමාන සමාජය තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය පෙරට වඩා වැඩි වී ඇති අතර, ඒ සමගම මනෝ විද්‍යාත්මක උපදේශන සේවාවන් සඳහා ජනතාවගේ අවශ්‍යතාවද වේගයෙන් වර්ධනය වී තිබේ. මානසික ආතතිය, කාංසාව, විෂාදය, පවුල් ගැටලු, අධ්‍යාපනික හා වෘත්තීය අභියෝග වැනි විවිධ හේතු නිසා පුද්ගලයන් උපදේශන සේවාවන් වෙත යොමුවන ප්‍රවණතාව වැඩිවෙමින් පවතී. එහෙත් උපදේශන වෘත්තිකයන් බිහිකරන ආයතනවල ගුණාත්මකභාවය, සේවාවන් සපයන පුද්ගලයන්ගේ සුදුසුකම්, වෘත්තීය ආචාරධර්ම, සේවා ප්රමිතීන් සහ වගකීම් පිළිබඳ ප්‍රමාණවත් නියාමන ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් උපදේශනලාභීන්ගේ ආරක්ෂාව සහ සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකිය.
මනෝ විද්‍යාත්මක උපදේශනය යනු පුද්ගලයෙකුගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් සමග සෘජුව සම්බන්ධ වන සංවේදී වෘත්තීය ක්ෂේත්රයකි. එබැවින් එය සුදුසු පුහුණුව, වෘත්තීය නිපුණතාව සහ දැඩි ආචාරධර්ම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතුය. නියාමනයකින් තොර පරිසරයක් තුළ අවිධිමත් හෝ ප්‍රමාණවත් පුහුණුවක් නොලත් පුද්ගලයන් විසින් සේවා සැපයීමෙන් උපදේශනලාභීන්ට මානසික හානියක් සිදුවීමේ අවදානමද බැහැර කළ නොහැක.
මෙවැනි පසුබිමක් තුළ, මනෝ විද්‍යාත්මක උපදේශන ක්ෂේත්රය සඳහා නීතිමය හා වෘත්තීයමය නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඉතා වැදගත් කරුණක් බවට පත්ව ඇත. එවැනි නියාමනයක් මගින් ගුණාත්මක මනෝවිද්‍යාත්මක උපදේශන අධ්‍යාපනයක් බලගැන්වීම, උපදේශනලාභීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෘත්තීය ප්රමිතීන් පවත්වා ගැනීම, වගවීම තහවුරු කිරීම සහ සමස්ත මානසික සෞඛ්‍ය සේවා පද්ධතියේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම අපේක්ෂා කළ හැකිය. එහිදී, මනෝ විද්‍යාත්මක උපදේශනය සම්බන්ධයෙන් නියාමනයක අවශ්‍යතාව සහ එහි වැදගත්කම මෙන්ම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ප්රමුඛ එම අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවන එවැනි වැඩපිළිවෙළක නැවුම් ආරම්භය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මානසික සෞඛ්‍ය සරසවියේ ගරු සභාපති ඥානදාස පෙරේරා මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.
වඩාත් ජනප්‍රිය විෂය ක්ෂේත්රයක්
"උපදේශනය, වර්තමානයේ ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර වඩාත්ම ව්‍යාප්ත වූ, ඒ වගේම, වඩාත්ම ජනප්‍රිය වූ විෂය ක්ෂේත්රයක් බවට පත්ව තිබෙනවා. එහිදී, උපදේශනය යන වචනය ගත්විට, ශිෂ්‍ය උපදේශනය, මාර්ග උපදේශනය වශයෙන් විවිධ උපදේශන වර්ග පවතිනවා. නමුත් අද අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ, මනෝ විද්‍යාත්මක උපදේශනයයි. ඊට හේතුව මානසික ගැටලු, ඒ වගේම මානසික ආබාධ මේ සමාජයේ උග්‍ර ජාතික මට්ටමේ ප්‍රශ්නයක් බවට දිනෙන් දිනම පත්ව තිබීමයි. සියදිවි නසාගැනීම් වර්ධනය වීම, ඇබ්බැහිකම් වැඩිවීම, ඉවක්බවක් නොමැති විවිධ අපරාධ, දික්කසාද වර්ධනය වීම සහ ගෘහස්ථ හිංසනය ප්‍රබල වශයෙන් රට තුළ වර්ධනය වීම දැකිය හැකියි. මේ තුළින් පවුල් ඒකකයේ බිඳ වැටීම්, ඒ වගේම වෘත්තීය ගැටලු, පාසල් දරුවන් තුළ පවතින මනෝ සමාජීය ගැටලු ආදී වශයෙන් මේ සියලු ගැටලුවලට උපදේශනය අත්‍යවශ්‍යම අංගයක් වෙනවා.
පුහුණු උපදේශකවරුන්ගේ හිඟයක්
විශේෂයෙන්ම, පාසල් පද්ධතිය තුළ පවා සියදිවි නසාගැනීම්, ප්රචණ්ඩ හැසිරීම්, මතට ඇබ්බැහිවීම්වල වර්ධනයක් දක්නට ලැබෙනවා. මෙවැනි කරුණු පදනම් කරගෙන කලකට පෙර සිටම පාසල් පද්ධතියේ උපදේශනය ක්‍රියාත්මක වුණා. මේ සියලු කාරණා දෙස බලන විට, පාසල තුළත්, රැකියා ස්ථානය තුළත්, සමස්ත සමාජය තුළත් ඉතා වැදගත් අංගයක් බවට උපදේශනය පත්ව තිබෙනවා. එසේ වුවත්, පුහුණු උපදේශකවරුන්ගේ හිඟයක් වර්තමානයේදී රට තුළ පවතිනවා. ගැටලුව වන්නේ, තවමත් ඒ ප්‍රශ්නයට සාර්ථක විසඳුම් නොලැබීමයි. මේ වනවිටත් උපදේශනය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පැවතියත්, මේ සම්බන්ධයෙන් නිසි කළමනාකරණයක් හෝ නිසි නියාමනයක් මෙතෙක් කලක් නොපැවතීම කනගාටුවට කරුණක් වෙනවා.
උපදේශනය ගැන විවිධ මතිමතාන්තර
මෙවැනි සන්ධර්භයක අපේ රටේ උපදේශනය පිළිබඳව විවිධ මතිමතාන්තර ක්‍රියාත්මක වෙනවා. ඉන් නොනැවතී වාණිජ පරමාර්ථයන්ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ තුළ උපදේශනය පදික වේදිකාවේ පවා විකුණන තත්ත්වයක් අද දැකිය හැකියි. මන්දයත්, කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොමැති එකම රැකියාව උපදේශනය බවට පත්වුණා දැයි ඇතමුන් ප්‍රශ්න කරන මට්ටමට මෙය ව්‍යාකූල වී තිබෙනවා. කිසිදු සුදුසුකමක් නොමැතිව "උපදේශක" යැයි බෝඩ් ලෑල්ලක් දමාගෙන ඕනෑම කෙනෙකුට උපදේශනය කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට නිසි යාන්ත්‍රණයක් හෝ කිසිදු ආයතනයකින් නියාමනයට ලක්වීමක් සිදුවන්නේ නැහැ. කාලයක් රටේ ටියුෂන් ක්ෂේත්රය තුළත් මෙවැනිම දෙයක් සිදුවුණා. කිසිදු සුදුසුකමක් නොමැති අය පවා ටියුෂන් ආරම්භ කළා. පුද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වා ගෙන යාමට ඕනෑම අයෙකුට පුළුවන් යන ස්ථාවරයේ සිට අද උපදේශනයත් ඒ තත්ත්වයටම ඇද දමා තිබෙනවා.
උපදේශකවරයෙක් බිහිවීමේ කුලුණු තුන
නමුත්, උපදේශන අධ්‍යාපනය (Counseling Education) යනුවෙන් ක්ෂේත්රයක් පවතින බව අප තේරුම් ගත යුතුයි. මේ ප්‍රධාන ගැටලුව පැනනැගුණේ එතැනයි. මන්දයත්, මාස තුනේ උපදේශන පාඨමාලාවන්, මාස හයේ උපදේශන පාඨමාලාවන් හතු පිපෙන්නාක් මෙන් ආරම්භ වී තිබුණා. බොහෝ පාඨමාලාවන් ඔන්ලයින් පදනමින් කරගෙන යනවා. උපදේශකවරයෙක් ඔන්ලයින් අධ්‍යාපනයකින් බිහිවීමට හැකියාවක් නැහැ. මන්දයත්, උපදේශනයට යම් සැලකිය යුතු පැය ගණනක් පුහුණු වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එහිදී, උපදේශනය සිදුකරන උපදේශකවරයා අනිවාර්යයෙන්ම කරුණු තුනකින් සන්නද්ධ විය යුතුයි. එහි පළමු වැන්න න්‍යායාත්මක මනෝවිද්‍යා දැනුමයි. දෙවැන්න උපදේශනය පිළිබඳ පුහුණුවයි. තුන්වැන්න පරිපූර්ණ අත්දැක්ම්වලින් සන්නද්ධ වීමයි. උපදේශකවරයෙක් බිහිවීම සිදුවන්නේ මේ කුලුණු තුන මතයි.
මාස තුනෙන් ඔන්ලයින් උපදේශකයින්
මේ කුලුණු තුන ප්‍රායෝගිකව හමු නොවන, ඔන්ලයින් පාඨමාලාවක් තුළින් උපදේශකවරයෙකු බිහිවීමේ හැකියාවක් නොමැති බව කියන්නේ ඒ නිසයි. හොඳ වෘත්තිකයෙක් බිහිවීමට ඔන්ලයින් වේදිකාව තුළ අවකාශයක් නැහැ. වෘත්තීය උපදේශනය බිහිවන්නේ, පුහුණුව, දැනුම, කුසලතා යන කරුණු තුන පදනම් කරගෙනයි. එහිදී උපදේශකවරයා සතු කුසලතා ඇති වන්නේ පුහුණුව තුළිනුයි. එමෙන්ම, උපදේශකවරයා සතු න්‍යායාත්මක දැනුම ලබාගත යුතු වන්නේ මනෝවිද්‍යාව හොඳින් හැදෑරීම හරහායි. මේ සමස්ත වටපිටාව මායිම් නොකර, මාස තුනෙන්, මාස හයෙන් සහතික පත්‍ර දීමක් අද දක්නට ලැබෙනවා. ඉන් නොනැවතී, උපදේශන ඩිප්ලෝමාවෙන් පසුව සිසුන්ට ලබාගත හැකි ප්රතිලාභ මොනවාදැයි කියා ඇතැම් ආයතන හා පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරනවා. කිසිදු හිරිකිතයකින් තොරව පවසන මේ ප්රතිලාභ අතර, උපදේශන බලපත්‍රයක් ලබාදෙන බවට ඇතැම් අය කියනවා. නමුත් එවැනි බලපත්‍රයක් ලබාදිය හැකි පාලන අධිකාරියක් තවම බිහිවී නොමැති බව බොහෝ සිසුන් දන්නේ නැහැ. පුද්ගලික ආයතනයකට එවැනි බලපත්‍රයක් ලබාදීමේ නෛතික බලයක් නැහැ.
අනීතික සහ ආචාරධර්මවලට පටහැනි ක්‍රියා
මීට අමතරව, ඇතැම් ආයතන මෝටර් රථ සඳහා වෛද්‍යවරයෙකු හඳුනා ගැනෙන ලාංඡනයට සමාන ස්ටිකරයක් නිකුත් කරන බව පවසනවා. එසේම උපදේශකවරයෙකු බව කියැවෙන හැඳුනුම්පතක් නිකුත් කරන බව පවසනවා. යම් ආයතනයකට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පතක් සිසුවෙකුට ලබාදීම ගැටලුවක් නැහැ. ඒ වගේම, රටේ පවතින නීතිය අනුව, ඕනෑම අයෙකුට සංගමයක් පිහිටුවීමටද බාධාවක් නැහැ. එලෙස ඕනෑම අයෙකුට යම් සංගමයක් පිහිටුවීමට හැකියාව පවතින ආකාරයෙන්ම, ඕනෑම කෙනෙකුට මනෝවිද්‍යා සංගමයක් පිහිටුවීමටද අවකාශය පවතිනවා. එහි වරදක් නොමැති විය හැකියි. නමුත් එවැනි සංගම් හෝ එවැනි ආයතන මගින් බලපත්‍ර ලබාදීමට නෛතික වටපිටාවක් නැහැ. වාහනවලට ස්ටිකර් නිකුත් කිරීමට හැකියාවක් නැහැ. එසේම, තවත් ආයතන විසින් ඖෂධවේදී නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් පවා ලබාදෙන බව පැවසෙනවා. එසේ ලබාදෙන සුදු පැහැ ලෝගුවේ සෞඛ්‍ය ලාංඡනය මුද්‍රණය කර ඇති බවත් සඳහන් වෙනවා. ඒ ආකාරයෙන්, අනීතික සහ ආචාරධර්මවලට පටහැනි දේවල් වෙළෙඳපොළෙහි ප්‍රසිද්ධියේ විකිණීම ඇරඹී තිබෙනවා. උපදේශනයට නියාමනයක් ඉතාමත්ම කඩිනමින් අවශ්‍ය වන්නේ මේ කියන ජාවාරම් නිසයි. සැබවින්ම, අවශ්‍ය වන්නේ වාරණයක් නොව, නිසි නියාමනයක් බව සිහිපත් කළ යුතුයි.
රජයේ මැදිහත්වීමෙන් අලුත් පියවරක්
අප මෙතෙක් වේලා කතා කළ ඒ නියාමනය රජයේ හැදිහත්වීමෙන් සිදුකළ යුතු කර්තව්‍යයක් වෙනවා. එහිදී, බොහොම සතුටට කාරණයක් වන්නේ, මේ වනවිට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් මේ කටයුත්තට ආරම්භයක් ලබාගෙන තිබීමයි. ඉතා මෑතකදී විෂයභාර ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් ජාතික උපදේශන සභාව පිහිටුවීමේ පණත් කෙටුම්පත විද්වත් හා වෘත්තීය පාර්ශ්වකරුවන් වෙත අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමේ ජාතික සාකච්ඡාව කොළඹදී පැවැත් වූවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ උපදේශන අංශයේ අධ්‍යක්ෂකතුමිය ලෙස කටයුතු කරන දන්තිකා මහත්මිය, එම අමාත්‍යංශයේ ගරු ලේකම්වරයා, සහකාර ලේකම්වරුන්, මෙම රැස්වීම් මෙන්ම, නියාමනය හා කෙටුම්පත් සම්බන්ධයෙන් කටයුතු කරන සමායෝජකතුමිය ඇතුළු විශාල කාර්ය මණ්ඩලයක් සහ විශ්වවිද්‍යාල කිහිපයක්ම මීට සම්බන්ධ වෙලා තියෙනවා. එහිදී, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, මනෝ වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන්, වෘත්තීය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන් සම්බන්ධ කරගෙන, ඒ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ නියාමනයක් සැකසීම ඉතාම කාලෝචිත පියවරක් ලෙස අප දකිනවා.
උපදේශකවරුන්ට ආචාරධර්ම
මේ යටතේ කරුණු තුනක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි, උපදේශකවරුන්ට ආචාරධර්ම අත්පොතක්, ආචාරධර්ම සංග්‍රහයක් සැකසෙනවා. මෙය අවුරුදු ගණනාවකට කලින් ක්‍රියාත්මක වුවත්, යම් යම් ගැටලු නිසා අවසාන වශයෙන් මෙය සමාජගත කිරීමට නොහැකි වුණා. නමුත් දැන් ඒ කාර්යය නැවත ආරම්භ වී තිබෙනවා. ඊට අමතරව, උපදේශන නියාමන කෙටුම්පතක් සකස් වෙනවා. අවසාන වශයෙන් මෙහි කමිටුවක් පත්කර, ඒ කමිටුවේ නිර්දේශ මත උපදේශකවරුන්, ඒ වගේම උපදේශන අධ්‍යාපනය, ඒ වගේම බලපත්‍ර නිකුත් කිරීම ආදී කරුණු පදනම් කරගෙන අනාගතයේ සුබදායක කටයුත්තක් සිදුවෙමින් පවතිනවා.
උපදේශනලාභීන්ද ආරක්ෂා කිරීම
මෙම කර්තව්‍යය කිසිවෙකුට පහර ගැසීමට කරන දෙයක් නොවෙයි. අනාගතයේ උපදේශන කෙටුම්පතක් සකස් වන්නේ කරුණු කිහිපයක් පදනම් කරගෙනයි. එහි පළමු වැන්න, උපදේශන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, එනම් නියම සුදුසුකම් මත උපදේශන පාඨමාලාවලට බඳවා ගැනීමේ පටිපාටියක් විධිමත් කිරීමයි. දෙවැන්න, උපදේශන අධ්‍යාපනයේ පාඨමාලා විෂය මාලාවන් සංවර්ධනය, පාඨමාලා සැලසුම් කිරීම ආදියයි. තුන්වැන්න, සුදුසුකම් සහිත ආචාර්යවරුන් යටතේ උපදේශන අධ්‍යාපන පාඨමාලාවන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමයි. සිව්වැන්න, උපදේශන අධ්‍යාපනය ඉතාමත් විධිමත් ලෙස පවත්වාගෙන යාමයි. පස්වැන්න, පොදු කරුණු යටතේ මේ උපදේශන අධ්‍යාපනය ලබාදීමයි. හයවැන්න, විධිමත් පුහුණුවයි. එසේම, උපදේශකවරුන්ගේ ගුණාත්මකභාවය සොයා බැලීමත් සිදුවෙනවා. එහිදී, ආචාරධර්ම සංග්‍රහයක් ක්‍රියාත්මක වන්නේ එය පදනම් කරගෙනයි. ඒ යටතේ, යම් උපදේශකවරයෙක් ආචාරධර්ම කඩ කරනවාද? උල්ලංඝනය කරනවාද? එසේ නොමැති නම්, උපදේශකවරුන් වෘත්තීයමය තලයට පිවිසෙන්නේ කෙසේද? උපදේශන ආචාරධර්ම යටතේ උපදේශන සේවාව සපයන්නේ කවරාකාරයෙන්ද? ආදිය ගැන සොයා බැලෙනවා. මීළඟ කාරණය, උපදේශනලාභීන් ආරක්ෂා කර ගැනීමයි. උපදේශන සේවාවන් සඳහා රට පුරාම මනෝවිද්‍යාත්මක ගැටලු ඇති ජනතාව අඛණ්ඩව යොමුවීමක් අප දකිනවා. එහිදී, එම සේවාවන් ලබාගැනීම සඳහා පැමිණෙන ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ට හොඳ ගුණාත්මක සේවාවක් ලබාදීම ආදී වූ කරුණු පදනම් කරගෙන නියාමනයක් රටට අවශ්‍ය වෙනවා.
උපදේශනය ගැන ජනතාව දැනුවත්ද?
මෙහි විස්තර කළ කරුණු තවදුරටත් සම්පිණ්ඩනය කරමින් පවසන්නේ නම්, උපදේශනය පිළිබඳ පාඨමාලා විධිමත්ව නියාමනයක් යටතේ ක්‍රියාත්මක කිරීම, උපදේශකවරුන්ගේ ගුණාත්මකභාවය හා ඔවුන්ගේ සේවාවන් ඉතාමත් ගුණාත්මකව රටට ලබාදීම, උපදේශන සේවාව ලබාගන්නා උපදේශනලාභීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට හොඳ සේවාවක් ලබාදීම සහ අවසන් වශයෙන් හොඳ උපදේශන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම වශයෙන් දැක්විය හැකියි. මෙම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය පසුබිම අවශ්‍ය වෙනවා. මේ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා. එසේම, මෙම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ දැනුවත්භාවය අවශ්‍ය වෙනවා. ජනතාව මනෝ වෛද්‍යවරයෙකු සහ මනෝ උපදේශකවරයෙකු අතර වෙනස තවම හරිහැටි අවබෝධ කරගෙන නැහැ. ඒ වගේම, සුදුසුකම් ඇති උපදේශකවරයෙකු හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ජනතාවට අවබෝධයක් නැහැ.
කඳුළු විකුණන සමාජයක් අවශ්‍ය නැහැ
එසේ නම්, රැවටීම් වළක්වා ගැනීමට හැකි වන්නේ ජනතාව දැනුවත්වීම් තුළින් පමණයි. අද බොහෝ අවස්ථාවලදී හොර උපදේශකවරුන්ට ජනතාව රැවටෙනවා. ඒ වගේම, උපදේශන අධ්‍යාපනය සොයා යන සමාජයේ අහිංසක සිසුන් තමන්ට ගැළපෙන, මේ රටට ගැළපෙන උපදේශන පාඨමාලාව කුමක් දැයි තෝරාගැනීමට නොහැකිව අයාලේ යනවා. මෙවැනි කාරණා පදනම් කරගෙන පුළුල් කතිකාවක් රටට අවශ්‍යයි. අපේ රටට නියාමනයක් අවශ්‍ය වන්නේ, අපේ රටට පනතක් අවශ්‍ය වන්නේ, අපේ රටට වෛද්‍ය සභාව වැනි ආයතනයක් අවශ්‍ය වන්නේ, ලියාපදිංචියක් අවශ්‍ය වන්නේ, මේ කාරණා පදනම් කරගෙනයි. ඒ වගේම, මෙම කරුණු පදනම් කරගෙන ඩිප්ලෝමා පාඨමාලාවේ සිට උපාධි පාඨමාලාව දක්වා ගුණාත්මකභාවය ආරක්ෂා කරමින්, රටේ මිනිස්සුන්ගේ කඳුළු විකුණන සමාජයක් වෙනුවට, ඉතාමත් වැදගත්, ඕනෑම වෙලාවක ගැටලුවක් විසඳීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම උපදේශනය තුළින් අප අනාගතයේ බලාපොරොත්තු වෙනවා.
සියලු ආයතනවලට උපදේශනය අවශ්‍යයි
මෙහිදී, පාසල් පද්ධතිය, ආයතනික පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය ආදී වූ මේ සියලුම ආයතනවලට උපදේශනය අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සියලුම ජනකොටස් නියෝජනය වෙමින්, උපදේශනය, මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන වෘත්තිකයන්ගේ දායකත්වයෙන් අපේ රටේ මේ ක්‍රියාවලිය සිදුවිය යුතුයි. එසේ කිරීමෙන්, අනාගතයේදී මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාත්මික සෞඛ්‍යය, චිත්තවේගීය සෞඛ්‍යය සාර්ථක ලෙස රටේ සංවර්ධනයට දායක කරගැනීමට හැකිවෙනවා යන්න මගේ හැඟීමයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

