දඹුල්ල ප්‍රදේශයේ මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුතු උෂ්ණත්වය පාලනය කළ හැකි ශීතාගාරයක් ඉදිකිරීම සඳහා රු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් ලබාදීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර යන මහත්වරුන් විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
දැනට 40%ක් පමණ වන පසු අස්වනු හානිය අවම කිරීමේ අරමුණින් එළවළු සහ පලතුරු සඳහා මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුතු ශීතාගාරයක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙනු ඇත. අතිරික්ත නිෂ්පාදනයක් පවතින අස්වැන්න බහුල කාලවලදී නාස්තිය අවම කරගැනීම සඳහා මෙම ශීතාගාරය ගොවි ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බවත්, එසේම මිල උච්ඡාවචනයන් පාලනය කිරීමටද, තත්ත්වයෙන් ඉහළ කෘෂි නිෂ්පාදන පාරිභෝගික ජනතාවට ලබාදීමටද මෙය උපකාරී වනු ඇති බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඉන්දීය රජය දරන තවත් එක් ප්රයත්නයක් වන අතර, සංවර්ධන ආධාර වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇ.ඩො.බිලියන 3ක් පමණ ලබා දී ඇති බවත්, ඉන් ඇ.ඩො.මිලියන 550 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදානයන් බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.