ඔස්ට්‍රේලියානු - නොර්වීජියානු අරමුදල් යටතේ ආර්ථික සංවර්ධනය සහ සංහිඳයාව තුළින් ග්‍රාමීය රැකියා ඇති කිරීමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ව්‍යාපෘතියක් වන පලතුරු හා එළවළු එක්රැස් කිරීමේ සහ ඇසිරීමේ මධ්‍යස්ථානයක් පසුගියාද මුලතිව් හි පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී විවෘත කර තිබේ.
ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපති තොර්බියොන් ගවුස්ටැදර්, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂිකා සිම්රින් සිං, ප්‍රාදේශී ලේකම්තුමන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා ගොවි ප්‍රජාව මෙම අවස්ථාවට එක්ව ඇත.
මෙහිදී අදහස් දක්වමින් නෝර්වීජියානු තානාපති තොර්බියොන් ගවුස්ටැදර් මහතා පවසා සිටියේ, "උතුරු පළාතේ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ප්‍රජාවගේ ජීවිතවලට ධනාත්මක වෙනසක් සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රේලියාව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ වනු ඇති. ඒ වගේම, 2018 සිට 2022 දක්වා රු.මිලියන 1,000කට වැඩි පිරිවැයක් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිතයි.
නව ව්‍යාපෘතිය මගින් පලතුරු, එළවළු සහ මත්ස්‍ය නිෂ්පාදන අංශවල ක්‍රියාකාරකම් ව්‍යාප්ත වනු ඇති අතර, නිෂ්පාදන සැකසුම් කිරීමේ පහසුකම් ලැබෙනු ඇති. ඉහළ ඉල්ලුමක් සහිත පලතුරු සහ එළවළු වර්ග සඳහා මෙන්ම මත්ස්‍ය අංශය සඳහා ඒකාබද්ධ ව්‍යාපාර ඇතිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන්ට අනුග්‍රහය ලැබෙනු ඇති අතර, ඔවුන්ට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමග සම්බන්ධ වීමේ අවස්ථාවන්ද උදාවනු ඇති" යනුවෙන් පවසා සිටියේය.