කොළඹ, ප්‍රමුඛතම තරු හෝටල් තුනක් වන ෂැංග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි යන හෝටල් මෙන්ම, කිතුණු දේවස්ථාන තුනක් ඉලක්ක කළ ප්‍රබල මරාගෙන මැරෙන ප්‍රහාර සහ තවත් පිපිරීම් කිහිපයක් සමග ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටි විදෙස් සංචාරකයන් ඔවුන්ගේ සංචාරයන් අවලංගු කරමින් සිටින බව වාර්තා වෙයි.
සඳුදා දිනයේ ලන්ඩනයේ සිට කොළඹ බලා පැමිණි ගුවන් යානයක අවලංගු නොකළ, නමුත් මගීන් නොපැමිණි (no-shows) ආසන 22ක් පැවති බව සඳහන් වන අතර, ඉරිදා සහ සඳුදා කොළඹ වෙත පැමිණි තවත් ගුවන් යානා කිහිපයකම අවලංගු කළ ආසන පැවති බවද වාර්තා වෙයි. ඊට අමතරව, ඉදිරි මාස දෙකක කාලය සඳහා වෙන්කර ගත් ගුවන් ටිකට් පත් දහස් ගණනක් මේ වනවිට අවලංගු කරමින් පවතින බවද 'අද'ට වාර්තා වෙයි.
යළි දැනුම් දෙන තුරු හෝටල් වැසේ
බෝම්බ ප්‍රහාරයෙන් පසු දින දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම තරු හෝටල් කිහිපයක සංචාරය කළ 'අද' කණ්ඩායමට දැකගත හැකිවූයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ පරිසරයකි. විශේෂයෙන්ම, බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ ෂැංග්‍රි-ලා හෝටලය තාවකාලිකව වසා දමා ඇති බව එහි පාලනාධිකාරිය නිවේදනය කළේය. ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ,
"අනපේක්ෂිත අන්දමින් සිදුවූ මෙම ව්‍යසන සිද්ධි දාමයට ගොදුරුවූවන් අතර අපගේ ළබැඳි පාරිභෝගිකයන් සහ සේවකයන් ගණනාවක් සිටින බව මහත් කණගාවුවෙන් යුතුව තහවුරු කරන්නෙමු. මෙම ව්‍යසනය සිදුවන අවස්ථාව වනවිට එහි සේවය කරමින් සිට බරපතල තුවාල ලැබූ අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුද සිටින බව තහවුරු කරන්නෙමු. මේ වනවිට අප හෝටල් පරිශ්‍රය වෙත ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, යළි දැනුම්දෙන තුරු හෝටල් පරිශ්‍රය වසා තැබීමට පාලනාධිකාරීය තීරණය කර ඇත.
මෙම ප්‍රහාර මාලාවෙන් පසුව සිද්ධියෙන් අනතුරට පත් වූවන්ට අවශ්‍ය විකල්ප නවාතැන් පහසුකම් අඛණ්ඩව ලබාදීමට අප පියවර ගෙන ඇත. පාරිභෝගිකයින්ගේ ඉල්ලීම මත සිදුකරන ප්‍රවාහන සහ ගුවන් ගමන් පහසුකම් සම්පාදනය සඳහා අප සේවක මණ්ඩලයේ නිරන්තර සහාය වෙයි. අප කාර්ය මණ්ඩලය ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සහ රෝහල් ආශ්‍රිතව රැඳී සිටිමින් උපකාර අවශ්‍ය පාරිභෝගිකයන් වෙත සේවා සපයයි. එමෙන්ම, මෙම ව්‍යසනයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් වෙත සහාය වීම සඳහා විශේෂ සහන සේවා දුරකථන අංකයක් (+603 2025 4619) හඳුන්වා දී ඇත. එමෙන්ම, ප්‍රහාරයට ගොදුරු වූ විවිධ රටවල පුරවැසියන් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අදාළ තනාපති කාර්යාල සමග සමීපව කටයුතු කිරීමද අප විසින් සිදුකර ඇත.
මින් විපතට පත් සියලු දෙනා වෙත අවශ්‍ය සහාය සලසන අතර, මෙම සිද්ධි දාමයට අදාළව සිදු කෙරෙන පරීක්ෂණයන්ට සහාය වනු පිණිස මෙම ව්‍යසනයට ගොදුරු වූවන්ගේ පෞද්ගලික අනන්‍යතාවන් මෙම අවස්ථාවේදී අනාවරණය කිරීමට නොහැකි බවද දැනුම් දෙන්නෙමු." යනුවෙනි.
මීට අමතරව, ප්‍රහාරයට ගොදුරු වූ කොළඹ කිංග්ස්බරි හෝටලයද තාවකාලිකව වසා දමා ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකිවූ අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවා තිබුණි. මේ අතර, තවත් බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ %තැප්‍රොබේන්^ භෝජනාගාරය හැර සෙසු පරිශ්‍රයන් පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පැවතියත් හෝටලය ඉදිරිපිට පැවතියේ දැඩි සෝදිසි කිරීමකි. හෝටලයට ඇතුළු වන ස්ථානයේ සිටම හමුදාව සහ හෝටල් ආරක්ෂක අංශ විසින් ඊට ඇතුළු වන මෝටර් රථ දැඩි පරීක්ෂාවකට ලක්කළ අතර, පිටස්තරයන්ට නිකරුණේ ඒ වෙත ඇතුළු වීමට අවස්ථාවක් නොවීය. මේ අතර, කොළඹ හිල්ටන් හෝටලය ඉදිරිපිට හමුදා සුනඛයන් යොදා අමුත්තන්ගේ ගමන්මළු පරීක්ෂා කිරීම් සිදුවූ අතර, හෝටලය වෙත වාහන ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණි. එමෙන්ම, හෝටල් වෙත ඇතුළු වන අමුත්තන් කලින් හෝටල් වෙන්කරවාගෙන තිබුණේ නම් ඔවුන්ට තරමක් පහසු ක්‍රියාවලියක් පැවතියත්, අලුතින් පැමිණි අමුත්තන්ට දැඩි පරීක්ෂා කිරීම්වලට ලක්වීමට සිදුවිය. මේ අතර, එක් ත්‍රස්ත සැකකරුවෙකු ලැගුම්ගෙන සිටියේ යැයි පැවසෙන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේද හමුදා ආරක්ෂක රැකවල් පැවති අතර, වාහන ඇතුළු කිරීම් සීමාකර තිබුණි. ගාලු මුවදොර අසලම පැවති ගාලු මුවදොර හෝටලයේද පැවතියේ එවැනිම දැඩි ආරක්ෂක වැඩපිළිවෙළකි.
හෝටල්වලට ගමන්මළු ස්කෑන් කිරීමේ යන්ත්‍ර
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සහ ගල්කිස්ස මහ හෝටල් සමූහයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසා සිටියේ, මේ වනවිටත් හෝටල්වල ගමන්මළු ස්කෑන් කිරීමේ යන්ත්‍ර ස්ථාපිත කරමින් පවතින බවය. එමෙන්ම, මින් ඉදිරියට මේ ආකාරයෙන්ම හෝටල්වල ආරක්ෂාව තවදුරටත් බලාත්මක කෙරෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත. දැනටමත් සිය හෝටලයේ 20%ක පමණ වෙන්කිරීම් අවලංගු කර ඇති බව සඳහන් කර ඇති ඔහු, මෙහි පහළ යෑමක් නොව ඉදිරියේදී තවත් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවද පවසා තිබේ. මෙසේ අවලංගු කෙරෙන බොහෝ වෙන්කිරීම් ඔන්ලයින් සංචාරක වෙබ් අඩවි සහ සංචාරක නියෝජිත ආයතන හරහා සිදුවූ ඒවා බවද පෙන්වා දෙන ඔහු, සිය සංගමයට අයත් හෝටල්වල මෙතෙක් කොපමණ වෙන්කිරීම් අවලංගු කර ඇතිද යන්න පිළිබඳ නිවැරදි තක්සේරුවක් දැනට ලබාදීමට හැකියාවක් නොමැති බවද පවසා ඇත. එමෙන්ම, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගෝල්ෆේස් හෝටල් ජාලයේ නියෝජ්‍ය සභාපති චන්ද්‍රා මොහොට්ටි මහතා පවසා තිබුණේ, ඉදිරියේදී සංචාරකයන් විශාල පිරිසක් සිය වෙන්කිරීම් අවලංගු කරනු ඇති බවය.
සංචාරක ව්‍යාපාරයට සෘජු බලපෑමක් වූ ප්‍රථම අවස්ථාව
වසර 30ක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධයකින් බැට කෑ ශ්‍රී ලංකාව ඒ අභාග්‍යසම්පන්න යුගය තුළදීවත් මේ ආකාරයෙන් සංචාරකය ව්‍යාපාරය වෙත සෘජු ලෙස බලපාන දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයකට ලක් නොවූ බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව වෙත පැමිණි විදෙස් සංචාරකයන් සෘජුවම ඉලක්ක කළ ප්‍රහාරයක් ලෙස පාස්කු ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාර මාලාව හැඳින්වීමේ වරදක් නැත. ඉස්ලාමීය අන්තවාදී? ජාතික තවුෆීත් ජමාත් නම් සංවිධානයක් මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු මෙම ප්‍රහාර මාලාව පසුපස සිටින බවත්, මීට විදේශීය ත්‍රස්ත ජාලයක සබඳතා පවතින බවත් පෙරේදා (23දා) පාර්ලිමේන්තුවේදී රජයේ පාර්ශ්වයෙන් අසන්නට ලැබුණි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරවලින් මේ දක්වා විදේශිකයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබීම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි තත්ත්වයකි.
ලෝන්ලි ප්ලැනට් හොඳම ගමනාන්තය වූ අපේ අනාගතය
ශ්‍රී ලංකාවට සංචාරකයන් බහුලව පැමිණෙන දෙසැම්බර් සහ ජනවාරි මාසවල සංචාරක පැමිණීම්වල 3.3%ක සහ 2.2%ක කඩා වැටීමක් සිදුවූයේ පසුගිය වසරේ අගභාගයේ පැවති දේශපාලන අර්බුදය නිසාය. නමුත්, එය පාස්කු දින ප්‍රහාරය සමග එල්ල වූ දැවැන්ත බලපෑම සමග සැලකීමේදී සැලකිය යුතු තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයට 5%ක පමණ දායකත්වයක් සංචාරක ව්‍යාපාරය මගින් හිමිවෙයි. එය මෙරටට තෙවනුවට වැඩිම විදේශ විනිමයක් රටට ගලාඑන ප්රභවයයි. පසුගිය වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් ඇ.ඩො.බිලියන 4.2ක් රට තුළට ගලා ආවේය. එමෙන්ම, 2018 වසරේදී සංචාරකයන් මිලියන 2.3ක් රටට පැමිණි අතර, එය 2017 වසර සමග සැසඳීමේදී 10.3%ක වර්ධනයකි.
විශේෂයෙන්ම, ලෝන්ලි ප්ලැනට් විසින් ලෝකයේ සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කළේද මෑතකදීය. එමෙන්ම, සංචාරක බ්ලොග්කරුවන් විසින් ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ඉතා හොඳ රටක් ලෙස ඔසවා තැබීය. ඉන් නොනැවතී, 2019 වසරේදී මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය වෙමින් පැවති අවස්ථාවක මෙම බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වීම අතිශය කනගාටුදායකය. සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය කෙරෙහි කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනවද අතිශය දරුණු ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවය.