ශ්‍රී ලංකා පතල් හා කැණීම් ක්ෂේත්රයේ නියුතු ඉතා දක්ෂ කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථානයට පැමිණ එරට ද්වීපාර්ශ්වික හවුල් ව්‍යාපාර හා ආයෝජන අවස්ථා ආරම්භ කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති මුනීර් ගියාෂි මහතා පවසා සිටියේය.
තානාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවී සිදුකළ සාකච්ඡාවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා,
"ඇෆ්ගනිස්ථානය තුළ මේ වනවිට එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන තුනකට වඩා වැඩි වටිනාමකින් යුතු ස්වාභාවික සම්පත් ඇති බව හඳුනාගෙන තිබෙනවා. එහිදී, ශ්‍රී ලංකාවේ පතල් හා කැණීම් කර්මාන්තකරුවන් ඉතා හොඳ පුහුණුවක් සහ නිපුණතාවක් ඇති දක්ෂ පිරිසක් බව මා දන්නවා. ඇෆ්ගනිස්ථානය තුළ පවතින මේ නව ආයෝජන හා ව්‍යාපාරික ක්ෂේත්රය නැරඹීමට පැමිණෙන ලෙස මා ආරාධනා කරනවා. එහිදී, දෙරටටම එක්ව නව ආයෝජන හා හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට පුළුවන්." යැයි පවසා සිටියේය.
මෙහිදී, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,
"ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාම අඩු මට්ටමක පවතිනවා. ඒ නිසාම ඇෆ්ගනිස්ථානයේ මේ නව වෙළෙඳ යෝජනාව ඉතා වැදගත්. මේ අනුව අප දෙරටේම ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු අනාගතයේදී විශාල වෙළෙඳ විභවයක් ඇති කිරීමට හේතු වේවි. අපගේ පතල් හා කැණීම් කටයුතු නවීන විද්‍යාත්මක පදනමක් සහිත උසස් මට්ටමක පවතින නිසා, ඔබ රට තුළ ඒ කටයුතු ඉතා සාර්ථකව ඉටුකිරීමට අපට හැකි වනු ඇති. ඒ නිසා ඇෆ්ගනිස්ථානයේ මේ නව වෙළෙඳ ව්‍යාපාර සඳහා පර්යේෂණයෙන්, ආයෝජනයෙන්, නිෂ්පාදනයෙන් හවුල් වෙන්න කියා අපගේ ව්‍යාපාරික ප්‍රජාවට අප ආරාධනා කර සිටිනවා." යනුවෙනි.