ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් (IT / BPM Week) සැප්තැම්බර් 04 සහ 05දා යන දිනවල මාතරදී පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, SLASCOM, FITIS සහ ICTA ආයතන නියෝජිතයෝ එහිදී අදහස් දැක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිනී හා ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය, &දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුළින් උපරිම ප්රතිලාභ රටට ළඟා කිරීමට සියලු කටයුතු සිදුවෙනවා. ඒ යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති වී තිබෙන බව සඳහන් කළ යුතුයි. ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම මගින් මේ සඳහා නිවැරිදි දැක්මක් සමග වැඩපිළිවෙළක් දියත් කරමින් පවතිනවා. දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එහි එක් වැඩපිළිවෙලක් වන අතර, ඒ සඳහා ඉදිරියේදී පළාත් මට්ටමින් දැනුවත් කිරීම් සිදුකිරීමටද නියමිතයි* යනුවෙන් පවසා සිටියාය.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තය පසුගිය දශකය තුළ 300%කින් වර්ධනය වී ඇ.ඩො.බිලියන 1.2ක් දක්වා ආදායමක් උපයා ඇති අතර, 80,000කට අධික වෘත්තිකයන්ට රැකියා ලබාදී ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන උපයන්නා බවට පත්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
රජයේ ජාතික අපනයන සැලසුම අනුව, තොරතුරු තාක්ෂණ හා ඒ ආශ්රිත සේවා කර්මාන්තය වර්ෂ 2022 වනවිට ඇ.ඩො.බිලියන 5ක අපනයන ආදායමක් උපයා ගැනීමටත්, සෘජු රැකියා 200,000ක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වේ. මෙම ඉලක්ක සාක්ෂාත් කරගත හැකිවන්නේ අගනුවර සමාගම් හා ප්‍රාදේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කරවීම මගින් වෘත්තිකයන් හා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමෙනි. ප්‍රාදේශීය කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ ධාරිතාව ගොඩනැංවීමේ කාර්යය මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග ප්‍රාදේශීය දැනුවත් කිරීමේ වැඩසටහන් IT / BPM Week සංවිධානය කිරීම සිදුකරනු ලබයි.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කොළඹින් පිටත නගරවල උපාධි අපේක්ෂකයන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා පෝෂණය කිරීම සහ ව්‍යසායකයන් ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ළඟා කරවීම සඳහා මඟපෙන්වීම බව කියයි. මෙම ව්‍යාපෘතිය සඳහා සංවර්ධන උයමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය (MODSIT) සමග, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) යන ආයතන සහයෝගයෙන් කටයුතු කරනු ඇති බව පෙන්වා දෙයි. කලාපීය ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය සඳහ ජාතික අපනයන සැලසුම යටතේ 'දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) සතිය' යනු මෙහි එක් වැඩසටහනක් වන අතර, මෙයට පෙර වසරවලදී උතුරු පළාත සහ මධ්‍යම පළාත ආවරණය වන ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනලද බව ඔවුහු පවසති.
සැප්තැම්බර් 4 සහ 5 දෙදින පැවැත්වෙන මෙම වැඩසටහනේදී තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තයේ විශේෂඥයන් මාතර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 350ක් සහ දකුණු පළාතේ දේශීය ව්‍යවසායකයන් 150ක් දැනුවත් කිරීම සඳහා රැස්වීමට නියමිතය. ව්‍යවසායකයන් සඳහා වූ වැඩමුළුව සැප්තැම්බර් මස 4 වැනි දින මාතර ග්‍රෑන්ඩ් නැව්රෝ හෝටලයේදී පැවැත්වෙනු ඇති අතර, තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා වැඩමුළුව සැප්තැම්බර් මස 5 වැනි දින රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත.
තොරතුරු තාක්ෂණය/ව්‍යවසායකත්වය තෝරා ගැනීමේදී අනාගතයේදී වෘත්තිකයන් ලෙස දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දේශීය ව්‍යාපාර ආරම්භ කිරීම දිරිගැන්වීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට උපදෙස් දීම මෙම වැඩසටහනේ මූලික අරමුණු වී ඇත.
ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන වර්චුසාහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී මධු රත්නායක සහ SLASSCOM හි හිටපු සභාපති රුවින්දු පීරිස් යන මහත්වරුන්, SLASSCOM වත්මන් සභාපති ජීවන් ඥානම් සහ Calcey Technologies හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න යන මහත්වරුන් මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.
එහිදී, තාක්ෂණ ව්‍යවසායකයන් සඳහා වැඩමුළුව තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරන සහභාගීවන්නන්ට පහත දැක්වෙන වැඩසටහන්වලට පිවිසීමට හැකියාව ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
- නව තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වන වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව.
- ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන (ITC) විසින් ක්‍රියාත්මක කරන අපනයන වෙළෙඳ අලෙවි සැලසුම පුහුණු කිරීම සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් (ITC විසින් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.)
- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනලද අන්තර්ජාතික වෙළෙඳ සල්පිල්/නිරාවරණ වැඩසටහන සඳහා නිරීක්ෂකයකු ලෙස අයැදුම් කිරීමට සුදුසුකම්.
- විවිධ රාජ්‍ය ආයතන විසින් සපයන ණය යෝජනා ක්‍රම සඳහා අයැදුම් කිරීමට සුදුසුකම්.
- Champion Builder වැඩසටහන සඳහා අයදුම් කිරීමට යෝග්‍යතාව.
මේ පිළිබඳ වැඩි විස්තර 041-2231591, 011-2300705 යන දුරකථන අංක මගින් හෝ [email protected] ඊමේල් ලිපිනය මගින් ලබාගත හැකි බවත්, ඉදිරි වර්ෂයේදී මඩකලපුව, බදුල්ල හා අනෙකුත් ප්‍රදේශවල අනාගත වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.