තරුණ නිපුණතා හා නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනයක් කරා
අධ්‍යාපන ක්‍රමය තුළින් විද්‍යාවට තැනක් නොදෙන නිසාත්, එසේ ලබාදුන්නත් එය අවශ්‍ය ප්‍රමාණයට පැතිරී නොමැති නිසාත් අද වනවිට ශ්‍රී ලංකාව තුළ පාසල් දස දහසක් තිබුණද, ඒවායින් නියම විද්‍යාව උගන්වන්නේ පාසල් දහසක පමණක් යැයි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ, 'තරුණ නිපුණතා සහ නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනය' යන තේමාවෙන් පසුගිය 15දාට යෙදී තිබූ ලෝක තරුණ නිපුණතා දිනය සමරමින් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී පසුගිය 17දා පැවති උත්සවයේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“නිපුණතා සංවර්ධන දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවත් ඒ යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ ලෝකයේ අනෙකුත් සියලුම රටවල් ඒ යෝජනාව පිළිගෙන අද මේ වගේ රැස්වීම් ලෝකයේ සෑම තැනම පවත්වනවා. අපේ රටේ වගේම ලෝකයේ අනාගතය තීරණය කරන්නේ අද මේ සභාවේ ඉන්න තරුණ ඔබයි. අද ලෝකය දියුණුවෙලා, තාක්ෂණය දියුණු වෙලා, සංකල්ප දියුණු වෙලා. රටේ තරුණ පරපුරට සාධාරණ සමාජයක් සහ සාධාරණ ජීවිතයක් ලබාදීම අප සියලු දෙනාගේම යුතුකම කියා සෑමදෙනාම පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දෙස බැලීමේදී හොඳ ලක්ෂණ බහුලයි. ලෝකයේ විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් හොඳ අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තියෙනවා.
කෙසේ වෙතත්, මේ තරම් අධ්‍යාපනයක් ලැබූ පිරිසට හිමි ඒ රැකියාවන් සහ ජීවිතය අපි ලබාදෙන්නේ කොහොමද කියන එක තමයි, අද අපේ රටේ ඒ වැදගත්ම ප්රශ්නය වන්නේ. ඊට අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් පිළිතුරු දෙන්න බැහැ. එහි බොහෝ හොඳ පැත්තක් තියෙනවා. බොහෝ කැපවීම් තියෙනවා. දක්ෂ ගුරුවරුන් ඉන්නවා. නමුත් අපේ සමාජයේ පවතින සත්‍යය නම් ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් වර්තමාන ලෝකයේ තියෙන අභියෝග, වර්තමාන ලෝකයේ ඇති රැකියාවන්, වර්තමාන ලෝකයේ දකින සංවර්ධනයට 100%ක පුහුණුවක්, 100%ක කැපවීමක් දක්වන තරුණ පරපුරක් බිහි කිරීමට අපට පුළුවන්කමක් නෑ. කෙසේ වෙතත්, ඒ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළින් ඔබ සියලු දෙනාට උසස් අධ්‍යාපනයට යන්න පුළුවන්. ඔබ සියලු දෙනා සැබවින්ම ඉහළ දැනුමක් ලබාගැනීමට පුළුවන් අයයි. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය විද්‍යාවට බර ක්‍රමයක් නෙවෙයි. අපේ අධ්‍යාපන ක්‍රමය නූතනත්වයට බර ක්‍රමයක් නෙවෙයි. අපේ අධ්‍යාපන ක්‍රමය රැකියා සැපයීමට බර වූ ක්‍රමයක් නොවෙයි. අප මේ වෙනස කිරීමට උත්සාහ ගන්නේ ඒ නිසයි.
මෙ රටේ අනාගතය රඳා පවතින්නේ විද්‍යා සංස්කෘතියක් ඇති කිරීම තුළයි. නමුත්, අධ්‍යාපන ක්‍රමය තුළින් විද්‍යාවට තැනක් නොදෙන නිසාත්, එසේ ලබාදුන්නත් එය අවශ්‍ය ප්‍රමාණයට පැතිරී නැති නිසාත් අද වනවිට ශ්‍රී ලංකාව තුළ පාසල් දස දහසක් තිබුණද, ඒවායින් නියම විද්‍යාව උගන්වන්නේ පාසල් දහසක පමණයි. මේ තත්ත්වය තුළ කොහොමද මේ රටේ විද්‍යා සංස්කෘතියක් ඇති කරන්නේ. එය කරන්න පුළුවන් ඔබටයි. අපේ නිපුණතා ක්ෂේත්රය තුළින් ඉදිරිපත් වෙලා ඔබට මේ රටේ විද්‍යා සංස්කෘතියක් ඇති කරන්න පුළුවන්. නිපුණතා සංස්කෘතියක් ඇති කරන්න පුළුවන්. එසේ නිපුණතා සංස්කෘතියක් ඇති නොකළොත්, අපට ආර්ථික සංස්කෘතියක් ඇති කරන්න බැහැ." යනුවෙන් පවසා සිටියේය.
popular news
-
Hiranthi kaushalya Saturday, 26 October 2019 05:45 PM
Thawath rachana maththruka osse hoda thorathoru rasak එවන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

