ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකේය පෙර දැක්ම ඊයේ (19දා) කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී දියත් කළේය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර, එදින මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසාර මූල්‍යයනය පිළිබඳව පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්රණයක්ද පැවැත්විණි. පසුගිය අප්‍රේල් 19දා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාර බැංකු ජාලයක් (SBN) සඳහා වූ ගෝලීය හමුවේදී මුල් වරට දියත් කරන ලද තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කිරීම මෙහිදී සනිටුහන් විය.
මෙම පෙර දැක්ම සකස් කිරීමෙහිලා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යන පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට බඳුන් කර තිබේ. තිරසාර මූල්‍ය සඳහා වූ පෙර දැක්ම සඳහා ලේකම් කාර්යාලය සහ තාක්ෂනික උපදේශක ලෙස ලෝක බැංකුව හා අනුබද්ධිත ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කටයුතු කර ඇති අතර, මේ සඳහා මූල්‍ය අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ වන ජෛව විවිධත්වය සඳහා වූ මූල්‍ය ව්‍යාපෘතිය (BIOFIN) ඔස්සේ ප්රදානය කර තිබේ.
මෙම පෙරදැක්ම තුළින් මූල්‍ය නියාමකයන් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ලද ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණ හිතකාමී, සමාජීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි. මෙමගින් බැංකු හා මූල්‍ය අංශය, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රක්ෂණ අංශවල දායකත්වය පුළුල් කිරීමටත්, වඩාත් ශක්තිමත් තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැගීමටත් ප්රයත්න දරයි. ශ්‍රී ලංකාව තුළ තිරසාර මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික ක්‍රියාකාරකම් මාලාවක් මෙම පෙර දැක්ම තුළින් හඳුන්වා දී ඇති අතර, අදාළ පාර්ශ්වකරුවන් විසින් කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රියාවෙහි යෙදවිය යුතු ක්‍රියාකාරී සැලැස්මක්ද ඊට ඇතුළත් වී තිබේ.
තිරසාර මූල්‍ය පිළිබඳව ශ්‍රී ලාංකේය පෙර දැක්මේ අන්තර්ගත වන උපාය මාර්ගික ක්‍රියාමාර්ග කාර්යක්ෂම හා ඵලදායීව සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කමිටුවක් පත්කර ඇත. මෙමගින් පාර්ශ්වකරුවන් දිරිගැන්වීම හා ප්‍රගති සමාලෝචනය කිරීම අපේක්ෂිතය. තිරසාර මූල්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව සිය පුහුණු කිරීමේ කේන්ද්‍රය වන බැංකු විදු පියස හරහා තිරසාර මූල්‍ය පිළිබඳව පුහුණු වැඩසටහන් හඳුන්වා දී තිබේ. මෙලෙස තිරසාර මූල්‍ය පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ප්‍රථම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග සහයෝගයෙන් 2019 ජුනි 21 සහ 22 යන දිනයන්හි බැංකු විදු පියසේදී පැවැත්වීමට නියමිතව තිබේ.