ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (National Spatial Data Infrastructure) සේවා පහසුකම් ලබාගැනීමට ජනතාවට මේ වනවිට අවස්ථාව උදාවී තිබේ.
ඒ අනුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 25ක පමණ දත්ත මෙම පද්ධතියට ඇතුලත් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම පද්ධතිය සඳහා www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසීමේ පහසුකම් සලසා තිබේ.
මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකිනෙකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර, එමගින් එය භාවිත කරන්නන්ට සිතියම් නැරඹීම, සකස් කළ දත්ත ලබාගැනීම සහ භූමිගත තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇති බව නියෝජිතායතනය පවසයි.
එමෙන්ම, නිරන්තරයෙන් යාවත්කාලීන වූ නිවැරදි භූගෝලීය තොරතුරු ලබාගැනීම මෙන්ම, ආයතන කිහිපයක් අතර පහසුවෙන් දත්ත හුවමාරු කරගැනීමේ දැනට පැවති දුෂ්කරතා මෙම ව්‍යුහයත් සමග මගහැරී යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මෙම ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවා පහසුකම් ජනගත කිරීම නොබෝදා කොළඹදී සිදුකරන ලද අතර, එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා, &මෙය සාමූහික කටයුත්තක්. එක් එක් රාජ්‍ය ආයතන සතුව මෙතෙක් පැවති භූමිගත දත්ත මෙම නව ක්‍රියාවලියත් සමග එක් පද්ධතියකට එක්කර තිබෙනවා. දැන් රජයේ සෑම ආයතනයකටම තම ආයතන සතු භූමිගත දත්ත මෙයට එක් කිරීමට වගකීමක් පැවරී තිබෙනවා. ඉදිරියේදී පෞද්ගලික අංශයත් මෙයට සහභාගි කරගැනීමට අපේක්ෂා කරනවා* යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට එක්වූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන අතර දත්ත හා තොරතුරු හුවමාරු කර ගනිමින් මෙරට පුරවැසියන්ට විශිෂ්ට ආකාරයේ සේවාවක් ලබාදීමට මෙය මහඟු රුකුලක් වනු ඇති බවය.
මෙහිදී, මිනුම්පති පී.එම්.පී.උදයකාන්ත මහතා විසින් ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ එයින් රාජ්‍ය සේවයට ලැබෙන වාසි පිළිබඳව විස්තර කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.