ගෝලීය ආර්ථිකයට මහනුවර එක්වීම සහ දිස්ත්‍රික්කය ප්රතිලාභ වැඩිකර ගනිමින්, අවදානම අඩුකර ගන්නේ කෙසේද? යන මාතෘකාව යටතේ සංවර්ධන උපායමාර්ග අමාත්‍යංශය සහ USAID-SAIL එක්ව දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වූ රාජ්‍ය-පුද්ගලික සංවාද (PPD) වැඩසටහන්වල දෙවැන්න පසුගියදා මහනුවරදී පවත්වා තිබේ.
කොළඹින් පිට පැවැත්වූ මෙම ප්‍රථම වැඩසටහන සාර්ථක වී ඇති අතර, අමාත්‍යාංශ නියෝජිතයන්, රාජ්‍ය ආයතන නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව, වාණිජ මණ්ඩල, පුද්ගලික අංශය සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග 120කට අධික පිරිසක් මෙම විද්වත් සාකච්ඡාවට සහභාගී වී ඇත.
මෙහි සම්පත් දායකයන් ලෙස USAID-SAIL ව්‍යාපෘතියේ වෙළෙඳ විශේෂඥ ආචාර්ය සනත් ජයනෙත්ති, වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රේමතිලක ජයකොඩි, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලාල් වීරකොන් සහ සමාගම් මැදුරේ සහකාර රෙජිස්ට්‍රාර් හේෂාන් මතුගමගේ යන මහත්වරුන් අදහස් දක්වා ඇති අතර, අර්ත් බවුන්ඩ් ක්‍රියේෂන්ස් පුද්ගලික සමාගමේ සභාපති සාගර රංග ලියනගේ මහතා විසින් සාර්ථකත්වයේ කතාව ඉදිරිපත් කර තිබේ. මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස USAID හි ආර්ථික වර්ධන කාර්යාලයේ අධ්යක්ෂ බ්‍රයන් විට්නෙබල්, සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර, USAID-SAIL ව්‍යාපෘතියේ ප්‍රධානී ග්ලේන් මැකෙන්සි-ෆ්රේසර් යන මහත්වරුන් සහභාගී වී තිබේ.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසා ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික කටයුතු සමග වඩාත් සම්බන්ධ වන තත්ත්වයට නැවත පත්කළ බවයි. වෙළෙඳාම සහ සෘජු විදේශ ආයෝජන මගින් රැකියා උත්පාදනය වැඩිකර ශ්‍රී ලංකාව දියුණු කළ හැකි බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.