කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු රු. ට්‍රිලියන 3 පසුකරයි
2026 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේදී තැන්පතු රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගිය පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් බිලියන 315.13 කින් වර්ධනය වී ඇති අතර එම වර්ධනය රුපියල් බිලියන 52.52 ක මාසික සාමාන්‍යයක් නියෝජනය කරයි. වසරේ පළමු අර්ධය අවසන් වන විට සමූහයේ මුළු තැන්පතු වටිනාකම රුපියල් ට්‍රිලියන 3.02 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට පෙර මාස 12 ක කාලය තුළ තැන්පතු 20.33% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර එම කාලය තුළ මාසික සාමාන්‍ය වර්ධනය රුපියල් බිලියන 42.46 කි.
සලකා බලන මාස හය කාලය තුළ සමූහයේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 270.43 කින් වර්ධනය වී ඇති අතර එය මසකට රුපියල් බිලියන 45.07 ක සාමාන්‍යයක වර්ධනයකි. එම කාලය තුල මූල්‍ය අතරමැදි සේවා සැපයීමේදී බැංකුව ඉටු කරන කාර්යභාරය අවධාරණය කරමින් බැංකුවේ ණය කළඹ රුපියල් ට්‍රිලියන 2.36 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය මාස 12 ක කාලය තුළ ණය ලබාදීම රුපියල් බිලියන 624.48 කින් හෙවත් 36.07% කින් වර්ධනය වී ඇති අතර මසකට සාමාන්‍ය ණය වර්ධනය රුපියල් බිලියන 52.04 ක් විය.
කොළඹ කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කර ඇති අතුරු මූල්‍ය ප්රකාශනවලට අනුව සමූහයේ මුළු වත්කම් 2025 දෙසැම්බර් මාසයේ සිට 10.68% කින් හෙවත් රුපියල් බිලියන 361 කින් වර්ධනය වී 2026 ජූනි 30 වන විට රුපියල් ට්‍රිලියන 3.74 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 12 ක කාලය තුළ සමූහයේ මුළු වත්කම් කැපීපෙනෙන 19.42% කින් හෙවත් රුපියල් බිලියන 608.16කින් ඉහළ යාමක් වාර්තා කර ඇත.
“ගෝලීය හා කලාපීය සිදුවීම් ව්‍යාපාර සහ ආර්ථිකයන් කෙරෙහි අඛණ්ඩව බලපාමින් පවතින පසුබිමක අපගේ මූලික බැංකු කටයුතු ශක්තිමත්ව පවතින බැවින් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට විශ්වාසයක් තබාගත හැකියි” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය. “වෙනස් වන තත්ත්වයන්ට අනුව බැංකුව සිය සැලසුම් සහ උපායමාර්ග අඛණ්ඩව යාවත්කාලීන කරමින් සිටින අතර ගනුදෙනුකරුවන්ට, පාර්ශ්වකරුවන්ට සහ සමස්ත ප්‍රජාවට දිගුකාලීන ප්රතිලාභ ලබාදීම බැංකුවේ ප්‍රධාන අරමුණයි” යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින්, “බාහිර සාධකවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත සංචිත පවත්වාගෙන යාමට අප අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රවේශය අපගේ මාස හයක මූල්‍ය ප්‍රතිඵලවලින් පැහැදිලි වෙනවා. විශේෂයෙන් දෙවන කාර්තුවට අදාළව ණය හානිපූරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන වැඩි කිරීමද ඊට ඇතුළත් වෙනවා. ගෝලීය ආර්ථික තත්ත්වයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කර ඇති අතර මෙම අභියෝගකාරී තත්ත්වය හමුවේ අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීමට බැංකුව ශක්තිමත් ස්ථාවරයක සිටිනවා” යැයි කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් හයකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය මාස හය සඳහා රුපියල් බිලියන 63.62 ක මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කර ඇති අතර එය 14.44% ක වර්ධනයකි.
මාස හයක කාලය සඳහා මූල්‍ය සේවා මත අය කරන බදු 20.38% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10.56 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමූහයේ බදු ගෙවිමට පෙර ලාභය රුපියල් බිලියන 53.05 ක් වූ අතර එය 13.33% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම කාලය සඳහා ආදායම් බදු 12.67% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 17.63 ක් වූ අතර මාස 6 ක කාල සීමාව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 35.42 ක් විය. එය 13.66% ක වර්ධනයකි.
වෙනම ගත් විට, පළමු අර්ධය තුළදී කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 50.85 ක් හා බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 33.79 ක් ලෙස වාර්තා කර ඇති අතර එය පිළිවෙළින් 12.39% ක සහ 12.45% ක වර්ධනයකි.
2026 ජූනි 30 වන විට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 13.23% ක් වූ අතර සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.58% ක් විය. මෙය නියාමන අවම අනුපාතයන් පිළිවෙළින් 10% සහ 14% ට වඩා ඉහළ අගයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
