තමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 'දිරිය කතුන්', කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් දස දහසක් පුහුණුව නිමකර නිෂ්පාදන ක්ෂේත්රයට අවතීරණ වී සිටින බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
මෙම වැඩසටහන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන වැඩ සටහනක් බවත්, පුහුණුවන එක් කාන්තාවක් සඳහා පුහුණු කාල සීමාව තුළදී රුපියල් හැත්තෑපන් දහසකට අධික මුදලක් වැයවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී, අමුද්‍රව්‍ය, ගුරු වැටුප් හා අනෙකුත් වියදම් සඳහා මෙම මුදල් වැයවන අතර, ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන සුජීව සේනසිංහ පදනම තුළින් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
'දිරිය කතුන්' වැඩසටහන තුළින් කාන්තාවන්ට වෘත්තීය හැකියාවක් ලබාදෙන අතර, එදානෙදා ජිවිතය තුළදී සාර්ථක දිවියක් සඳහා අවශ්‍ය උපදෙස් හා දැනුමද ලබාදෙන බවද සඳහන් වේ. එහිදී පිරිසිදුව, ක්‍රමවත්ව නිවෙස පවත්වාගෙන යාම, පවුල තුළ එකිනෙකා අවබෝධයෙන් ආදරයෙන් ජීවත් වීම, දෙමවුපියන් හා දරුවන් අතර සුහදතාව වර්ධනය කර ගැනීම, ඉංග්‍රීසී දැනුම හා සාමාජීය හා අන්තර්ජාතික සමාජ තත්ත්වයන් පිළිබඳව දැනුම මෙම කාන්තාවන්ට ලබාදෙන අතර, නිවැරදි ආහාර රටාවන්, ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, "නිෂ්පාදන කාර්යයට එක්විය හැකි බොහෝ කාන්තාවන් නිකරුනේ නිවෙස්වල කාලය ගෙවා දමනවා. ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම හා පුහුණුව ලබාදෙන්නේ නම් ඔවුන්ගෙන් විශාල සේවයක් ලබාගත හැකියි. සැබැවින්ම අපේ සහෝදරියන් දක්ෂතාවයෙන් ඉහළයි. ඔවුන්ට ක්‍රමවත් පුහුණුවක් අවශ්‍යයයි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට ඔවුන් පුහුණු කළ යුතුයි. හොඳ මිලක් ලැබෙන්නේ මේ තුළිනුයි.
මේ වනවිටත් අපේ කාන්තාවන්ගේ නිෂ්පාදන දිවයිනේ ප්රමුඛ වෙළෙඳ සැල් ජාල මිලදී ගෙන තිබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාල තුළින් ඇණවුම් ලැබී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ භාණ්ඩවල ඉහළ ගුණාත්මක භාවයයි. ඒ සඳහා අප ඔවුන්ව පුහුණු කරනවා. ඒ තුළින් ඔවුන් නිවසේ ආර්ථිකයට ශක්තියක් වෙනවා මෙන්ම ජාතික ආර්ථිකයටත් ශක්තියක් ලබාදෙනවා. නිවසේ සිට නිපදවන කුඩා නිෂ්පාදන විදේශ වෙළෙඳ පොළටත් එක්වීමෙන් අපේ අපනයන ආදායම ශක්තිමත් විමටත් එය බලපානවා." යැයි පවසා සිටියේය.
දිරිය කතුන් වැඩසටහන දැනට කොළඹ දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අටක ක්‍රියාත්මක පවතින බවත්, ඉදිරියේදී මෙම ජාතික වැඩසටහන දිවයින් පුරා ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.