කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කර තිබේ.
CHEC පෝට්සිට් කලම්බු සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජියැං හවුලියැං මහතා විසින්, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත මෙම ලැප්ටොප් පරිගණක තොගය මහ නගර සභා පරිශ්‍රයේදී භාරදෙන ලදී.
මුළු රටම කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් වදිමින් සිටින අවස්ථාවක ඊට සහාය වෙමින් කොළඹ වරාය නගරය විසින් සිදුකරන ලද මෙම පරිත්‍යාගය නගරාධිපතිනියගේ නොමඳ ප්‍රශංසාවට ලක්විය. ඇය පෙන්වා දුන්නේ මෙම ලැප්ටොප් පරිගණක, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින නිලධාරීන්ගේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය උපාංගයක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ජියැං හවුලියැං මහතා, පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ශ්‍රී ලාංකේය හා චීන ජාතික සේවක සේවිකාවන් සඳහා කොවිඩ්-19 එන්නත ලබාදීමේදී දක්වන ලද සහයෝගය වෙනුවෙන් නගරාධිපතිනියට හා ඇයගේ කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළ කළේය.
කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මේ වනවිට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි, සීනොෆාම් එන්නත භාවිත කරමින් එන්නත්කරණය සිදුවන බව ඒ මහතා පැවසීය. එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බවත්, මෙම පරිගණක මගින් එම ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කොළඹ මහනගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක, කොළඹ වරාය නගරයේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් සහ එහි කළමනාකරු (දේපළ සංවර්ධන) ශාලක විජයරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.