ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘතිවල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කළ බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වා දෙයි.
මේ අනුව අන්තර්ජාල සම්බන්ධතා වර්ධනයද 30.7%කින් ඉහළ ගොස් තිබේ. එම සේවාවන් අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාලය (Lanka Government Network - LGN) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) ප්‍රධාන තැනක් ගැනයි. ජනාධිපති ලේකම් විසින් 2020 ජනවාරි මස 13 වැනි දින නිකුත් කරනලද PS/GPA/Circular/01/2020 දරණ චක්‍රලේඛය මගින් මෙම ලංකා රාජ්‍ය ජාලය සහ ලංකා රාජ්‍ය මේඝය ශ්‍රී ලංකා රජයේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතිය ලෙස නම් කර ඇත.
ලංකා රාජ්‍ය ජාලය (LGN) මගින් සියලුම රාජ්‍ය ආයතන එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කර, ඒ ඒ ආයතනවල ඇති තොරතුරු ලිපි ගොනු ඉ-මේල් සේවා සහ වෙනත් විද්‍යුත් අන්තර්ගතයන් රාජකාරි කටයුතු හා මහජන අවශ්‍යතා සඳහා යොදාගැනීම අපේක්ෂා කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අධ්යක්ෂ රවින්ද්‍ර පතිරණ මහතා පවසයි. එමගින් රාජ්‍ය ආයතන 3,500ක් අධිවේගී පුළුල් පරාස ජාලයක් Wide Area Network (WAN) තුළින් එකිනෙක සම්බන්ධ කර ජාලගත කිරීමට සැලසුම් කෙරිණි. එහි පළමු වැනි පියවර ලෙස රාජ්‍ය ආයතන 860ක් මෙම ලංකා රාජ්‍ය ජාලය (LGN) හරහා සම්බන්ධ කිරීම පළමු වැනි පියවර යටතේ මේ වනවිට අවසන් කර ඇත. ඊට ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ 49ක් දෙපාර්තමේන්තු, දෙපාර්තමේන්තු ශාඛා සහ අනුබද්ධ ආයතන 191ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331ක්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ඒවායේ ශාඛාවන් 47ක්, රජයේ රෝහල් 46ක්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන හා ඒවායේ අනුබද්ධ ආයතන 167ක් ඇතුලත් වෙයි. ඊට අමතරව, මහජනතාවට පොදු ස්ථානවලදී අන්තර්ජාලය හා නොමිලේ සම්බන්ධ විය හැකි නිදහස් වයිෆයි (Free Wi-Fi) කලාප 1,400ක් ස්ථාපනය කර ඇත. රාජ්‍ය සේවකයන්ට ලංකා රාජ්‍ය ජාලය (LGN) හා සම්බන්ධ වෙනත් ඕනෑම රජයේ සේවා ස්ථානයක සිට තම සේවා ස්ථානය හා සම්බන්ධ වී රාජකාරි කර ගැනීමට හැකියාව ලැබෙන අතර, මහජනතාවට කාර්යක්ෂ්ම සේවාවක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ. එමගින් බාධාවකින් තොරව පහසු ලෙස රාජ්‍ය ආයතනවලට දත්ත හුවමාරු කරගත හැකි විශ්වාසනීය මාර්ගයක් ලෙසත් ලාබදායී ලෙසත් ප්‍රයෝජනයට ගතහැකි වන බව පතිරණ මහතා පෙන්වා දෙයි. එමෙන්ම, ලංකා රාජ්‍ය මේඝය රාජ්‍ය ආයතන 150කට ඔවුන්ගේ ඩිජිටල් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. එමගින් විවිධ ඩිජිටල් සේවා 175කට වැඩි ප්‍රමාණයක් හා 500කට අධික වෙබ් අඩවි සංඛ්‍යාවක් මහජන සේවා සඳහා යොදවා ඇති බවද ඔහු පෙන්වා දෙයි.
තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ස්ථාපනය කිරීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්ති හා උපායමාර්ගයට අනුකූලව ඩිජිටල් රජයක්, ඩිජිටල් ආර්ථිකයක් සහ ඩිජිටල් සේවා ස්ථිරසාරව ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක්ද ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත. රාජ්‍ය අංශයේ සියලුම ඩිජිටල් සංවර්ධන කටයුතු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරේ.