2021 වර්ෂයේ පළමු මාස 5 ඇතුලත එනම් 2021 මැයි මස 31 වැනි දින වනවිට සියලු කොටස් මිල දර්ශක අගය 9.3 %ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. එමෙන්ම S&P ශ්‍රී ලංකා 20 දර්ශකයද 13% වර්ධනීය අගයක් වාර්තා කරන ලද අතර, පෙර වාර්තා බිද හෙලමින් වෙළෙඳපොළ පිරිවැටුප රු.බිලියන 414.5ක් ලෙස වාර්තා විය.
මෙය 2020 වර්ෂයේ වාර්ෂික වෙළෙඳපොළ පිරිවැටුම වූ රු.බිලියන 396ක අගය ඉක්මවා යාමකි. එමෙන්ම මෙම අගය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ මෙතරම් කෙටි කාලයක් තුළ වාර්තාවූ තුන්වැනි හොදම අගය ලෙස සලකයි.
මින් පෙර මෙවැනි වෙළෙඳ පොළ පිරිවැටුමෙහි ඉහළ අගයන් වාර්තා වුයේ 2010 හා 2011 කාල සීමාව තුළදීය. එනම් පිළිවෙළින් රු.බිලියන 570 ක් හා 546 කි. දෛනික සාමාන්‍ය වෙළෙඳ පොළ පිරිවැටුමෙහි මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වන රු.බිලියන 4.4ක අගය 2021 මැයි මස 31 වැනි දින වාර්තා වීම සුවිශේෂී වේ. එසේම නොව දෛනික වෙළෙඳ පොළ ගනුදෙනුවල සාමාන්‍ය අගය වන 27,000ක අගය පෙර වසරට සාපේක්ෂව දෙගුණ වීමකි.
තවත් කැපී පෙනෙන වර්ධනයක් වන්නේ ණය සුරැකුම්පත් හා කොටස් වෙළෙඳ පොළ මෙම කාල සීමාව තුළදී වඩාත් ක්‍රියාශීලී මට්ටමකට අවතීර්ණ වීමයි. රජයේ නව ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්රවේශයන් සමග මූලික කොටස් නිකුතුන් 3ක් ඉහළ ප්‍රතිචාරයක් සමග රු.බිලියන 3.9ක් කොටස් ප්රාග්ධනය සම්පාදනය කරගනු ලැබීය. මෙම මූලික කොටස් නිකුතුන් තුනෙන් දෙකක් වෙළෙඳ පොළෙහි ගනුදෙනු වීම ඇරඹුණු අතර, එම සමාගම් දෙකෙහිම කොටසක් මිල නිකුත් කළ මිලට වඩා ඉහළ අගයක් ගැනීම කැපී පෙනුනි. 2021 වර්ෂය සඳහා තවත් මූලික කොටස් නිකුතුන් කිහිපයක් වෙළෙඳ පොළට අවතීර්ණ වීමට නියමිතව පවතී. එමෙන්ම මෙම කාලසීමාව තුළදී පළමු වැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන්වූ Empower පුවරුවෙහි පළමු වැනි ලැයිස්තුගත වීම වාර්තා වූ අතර, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ලංකා විදුලි බල මණ්ඩලයෙහි ප්‍රථම ලැයිස්තුගත මහජන ණයකර නිකුතුවද සිදුවිය.
වෙළෙඳ පොළෙහි නව ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ නව ගිණුම් රැසක් විවෘත වී තිබෙන අතර, එය හඳුන්වාදුන් 2020 සැප්තැම්බර් සිට මේ දක්වා දෛනික ගිණුම් විවෘත වීමේ සාමාන්‍ය අගය දෙගුණ වෙමින් තරුණ ආයෝජක ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.
මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ වෙළෙඳ පොළ පිරිවැටුම , ගනුදෙනු ප්‍රමාණය හා නව ගිණුම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ වසංගත තත්ත්වයක් තුළ, සංචරණ සීමාසහිතව දුරස්ථව මෙහෙයුම් කටයුතු සිදුවන කාල පරාසයක වීමයි. කොළඹ කොටස් හුවමාරුව මෙන්ම අනෙකුත් සියලු සහභාගීකරුවන් ඉතා කඩිනමින් තම මෙහෙයුම් කටයුතු ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකිරීමට යොමුවීම තුළ රජයේ නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් නිවසේ සිට වැඩකිරීමේ සංකල්පයට අනුගතවෙමින් මෙම වර්ධනීය අවස්ථාවට අවතීර්ණ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.