එල් නිනෝ සූදානමට කොමර්ෂල් බැංකුව කෘෂි ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් එක් කරයි
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්රය යොමු කිරීමේ අරමුණින්, බැංකුව 2026 සැප්තැම්බර් මාසයේදී ප්රමුඛ රාජ්ය විශ්වවිද්යාල සමඟ එක්ව අධ්යාපනික හා තාක්ෂණික මැදිහත්වීම් වලින් සමන්විත මෙම වැඩසටහන ක්රියාත්මක කළේය.
එල් නිනෝ තත්ත්වය සහ ඉන් කෘෂිකර්මාන්තයට ඇති බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා 12ක සහාය හිමි වූ අතර වට්ටාපලෙයි, මුත්තජන්කඩ්ඩු, පාලම්පාස්, ඔඩ්ඩුසුඩාන්, සියඹලාණ්ඩුව, ලිදුල, නෙළුව, කලවාන, පන්නල, මාදම්පේ, මන්නාරම, වවුනියාව සහ කුමලමුනෙයි ඇතුළු විවිධ ප්රදේශ 15ක ගොවීන් 1,100කට අධික පිරිසක් මෙම වැඩසටහනට සහභාගී කර ගන්නා ලදී.
මෙම වැඩසටහන් මාලාව කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන ශාලාවේදී ඇරඹින. කොමර්ෂල් බැංකුවේ කිලිනොච්චි ශාඛාව සහ යාපනය විශ්වවිද්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා 100ක පමණ පිරිසක් සහභාගී වූ අතර එහිදී දේශගුණික අවදානම් කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී. යාපනය විශ්වවිද්යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාගමුතු පිරතීපරාජා මහතා, කෘෂිකර්ම ජීව විද්යා අධ්යයනාංශයේ ප්රධානී ආචාර්ය සුවන්තිනි තෙරෙන්සන් මහත්මිය සහ ඉන්තිරා සමූහ ව්යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ මහේෂ්වරන් රජීතන් මහතා විසින් මෙහෙයවන ලද ප්රධාන සැසි මඟින් දේශගුණික වෙනස් වීම් හමුවේ කෘෂිකාර්මික අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ප්රායෝගික ක්රියාමාර්ග පිළිබඳව ගොවීන්ව දැනුවත් කරන ලදී.
රජරට විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේදී මෙම වැඩසටහන් මාලාවේ දෙවන අදියර පැවැත්විණි. පීඨාධිපති මහාචාර්ය එම්. එච්. ජේ. පී. ගුණරත්න මහතා, මහාචාර්ය එන්. එස්. අබේසිංහ මහතා සහ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ඊ. ජේ. කොස්ගොල්ලෙගෙදර මහතා හා එච්. ජී. එස්. සී. වික්රමසිංහසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම සැසිය තුළින් දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අන්තර්ජාලය හා සම්බන්ධ සංවේදක තාක්ෂණය (IoT) මත පදනම් වූ නවීන කාලගුණ නිරීක්ෂණ පද්ධති හඳුන්වා දෙන ලදී. කෘෂිකර්මාන්තයේ අනාගත පරපුර වෙත නවීන තාක්ෂණික දැනුම ලබාදීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සහභාගිවන්නන් 100 දෙනෙකු ඉලක්ක කර තිබූ අතර ඊට ප්රදේශීය ගොවි සමිති නියෝජනය කරන තරුණ ගොවීන් 50 දෙනෙකු, කෘෂිකර්ම හා ජෛව පද්ධති තාක්ෂණය හදාරන සිසුන් සහ පාසල් අධ්යාපනය අවසන් කළ තරුණ තරුණියන් 30 දෙනෙකු මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් 20 දෙනෙකු ද ඇතුළත් වූහ. මෙම වැඩසටහන් දෙක එකිනෙකට අනුපූරක ලෙස ක්රියාත්මක විය.
කිලිනොච්චියේ පැවැති වැඩසටහන මඟින් ගොවීන් දැනුවත් කිරීම සහ කෘෂිකාර්මික අවදානම් කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ අතර රජරට විශ්වවිද්යාලයේ වැඩසටහන මඟින් නවීන තාක්ෂණය භාවිතයෙන් කාලගුණය නිරීක්ෂණය කිරීම පිළිබඳව ප්රායෝගික දැනුම ලබාදෙන ලදී.
කෘෂිකර්මාන්තයට සහාය දක්වන ප්රධාන මූල්ය ආයතනයක් වශයෙන් කොමර්ෂල් බැංකුව දේශගුණික අවදානම් හේතුවෙන් ගොවි අස්වැන්න අඩුවීම, නිෂ්පාදන වියදම් ඉහළ යාම සහ ණය ලබාගත් ගොවීන්ට තම මූල්ය වගකීම් ඉටු කිරීමේදී ගැටලු ඇතිවීම සිදුවිය හැකි බව ප්රකාශ කරන ලදි. විද්යාත්මක දැනුම සහ මූල්ය පහසුකම් අතර සම්බන්ධතාව ගොඩනගමින් ගොවීන්ට තම ව්යාපාරික සැලසුම්වලට අවදානම් කළමනාකරණය ඇතුළත් කර ගැනීමට බැංකුව සහාය වන අතර ඒ සඳහා අවශ්යතාව අනුව විශේෂිත ණය පහසුකම්, කල්බදු පහසුකම් සහ පරිසර හිතකාමී මූල්ය විසඳුම් ද බැංකුව විසින් ලබා දෙනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

