ශ්‍රී ලංකන් ගුවන් සේවය MSN-1008 අංකය දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) යටතේ 4R ALS ලෙස ලියාපදිංචි වී ඇති එයාර්බස් A330-200 ගුවන් යානය සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කරයි.
එවකට පැවති කළමනාකාරීත්වය නව එයාර්බස් A350-900 ගුවන්යානා 4 සඳහා වූ ඇණවුම අවලංගු කිරීමේදී කොන්දේසියක් ලෙස Aercap කල්බදු ආයතනය සමඟ ඇතිකර ගන්නාලද සම්මුතිය අනුව 2017 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට මෙම ගුවන් යානය ලබාගැනීමට සිදුවිය. 2009 වසරේදී නිෂ්පාදනය කරනලද මෙම ගුවන් යානයේ අභ්‍යන්තර මැදිරිවල ස්භාවය ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු නොවීය. ඊට හේතු වූයේ පමණට වඩා ආසන සංඛ්‍යාවක් තිබීම සහ ව්‍යාපාරික පන්තියේ මැදිරිවල ආසන අතර පරතරය ප්‍රමාණවත් නොවීමය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනෙකුත් සියලු ගුවන්යානාවල ව්‍යාපාර පන්තිය සහ පිරිමැසුම් පන්තිය ලෙස මැදිරි වෙන්කර ඇති අතර, ආසන සුවිශේෂ සම්මත ප්‍රමිතියකට අනුව සුවපහසුව සැපයීම සඳහා සකස් කර ඇත.
එබැවින්, පසුගිය කළමනාකාරිත්වය මෙම ගුවන් යානය යුරෝපීය ගුවන් සමාගමට බදුදීමට තීරණය කළේය. කෙසේ වෙතත්, එම යුරෝපීය ගුවන් සමාගම යම් කාලයකට පසු අදාල බදු මුදල් ගෙවීම් පැහැරහැර කල්බදු ගිවිසුම උල්ලංඝනය කරන ලදී. ගුවන් යානය භාරදීමේදී බදුකරු විසින් බදු ගිවිසුමට යටත්ව සිය වගකීම් ඉටු නොකළේය. පසුව ශ්‍රී ලංකන් ඉංජිනේරුවන් කණ්ඩායම ගුවන් යානය මෙහෙයුම් සඳහා සූදානම් කිරීමට අවශ්‍ය නඩත්තු සහ පරීක්ෂාකිරීම් සිදුකරන ලදී.
මෙම ගුවන් යානය හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට ලීසිං කිරීමේ ශක්‍යතාව පිළිබඳවද වර්තමාන කළමනාකාරීත්වය අවධානය යොමුකර ඇත. එතෙක්, එම ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණියේ කොටසක් ලෙස කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පවතී.
මෙහෙයුම් යානයක් සඳහා හදිසි අමතර කොටසක අවශ්‍යතාවක් පවතින අවස්ථාවකදී, ගුවන් තොටුපළේ අමතර කොටස් ගබඩාවේ එම කොටස නොමැති නම්, ගුවන් මෙහෙයුම් සඳහා එම අවස්ථාවේදී භාවිත නොකරන ගුවන් යානාවකින් එම අමතර කොටස ලබාගැනීම බොහෝ ගුවන් සමාගම් සිදුකරන සම්මත ක්‍රියාවකි. වෙනත් එන්ජිමක් නඩත්තු කටයුක්තකට භාජනය වන අවස්ථාවකදී මෙම යානයෙන් එන්ජිම භාවිත කර තිබේ. මෙම ගුවන් යානය භාවිත කිරීම සඳහා වෙනත් ගුවන් සේවයක් සමඟ නව බදු ගිවිසුමක් අත්සන් කිරීමට පෙර එම කොටස් නැවත ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි වර්තමාන කළමනාකාරීත්වය 2013 දී සිදුවූ A350-900 ගුවන් යානා ඇණවුම් කිරීම සම්බන්ධව තීන්දුවලට සම්බන්ධ නොවූ බව අවධාරණය කරයි. එසේම, 2016 දී ගුවන් යානා ඇණවුම අවලංගු කිරීම සහ 4R ALSA330-200 යානාව අත්පත් කරගැනීම වර්තමාන ව්‍යාපාර ආකෘතියට නුසුදුසු බවද අවධාරණය කරයි. මෙම ගුවන් යානය නැවත භාවිත කිරීම සහ ආයෝජනය මත ප්රතිලාභ ඉහළ නංවා ගැනීමට කළමනාකාරිත්වය උත්සාහ දරමින් සිටියි. එසේම, අදාළ පාර්ශ්වයන්ගෙන් ගුවන් සමාගමට හිමි විය යුතු අලාභය පියවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද කළමනාකාරිත්වය කටයුතු යොදමින් පවතී.