රජරට වැව් බැඳීම සඳහා භාවිත කළ තාක්ෂණය එකල ලෝකයේ පැවති දියුණුම තාක්ෂණයක් වූ අතර, සීගිරියේ යොදාගත් තාක්ෂණයද එසේම වූ බවත්, එම ආදර්ශවලින් ජවයක් ලබා අප උසස් තාක්ෂණික සමාජයක් කරා දියුණුවීමට උත්සුක විය යුතු බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් අප අතීතයේදීද විශිෂ්ට වාර්තා තබා ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා පවසා සිටියේ ජාතික වෘත්තීය පුහුණු ආයතනයක් සඳහා ජනපති අතින් මුල්ගල් තැබීම සහ %නිපුනි^ රැකියා බැංකුව ආරම්භ කිරීම නිමිත්තෙන් හිඟුරක්ගොඩදී පැවති උත්සවයකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"යෞවනයන්ගේ විරැකියා ප්රශ්නය විසඳීම සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් තිබෙනවා. ඒ සඳහා එකම විසඳුම වර්තමානයේ රැකියා ස්ථානයට අවශ්‍ය වෘත්තීය සහ නව තාක්ෂණික දැනුම යෞවනයන් විසින් ලබාගැනීමයි. මේ අනුව, මගේ අමාත්‍යාංශය යටතේ ඇති සියලූම වෘත්තීය සහ තාක්ෂණික පුහුණු ආයතනවලට සිදුකරන බඳවා ගැනීම් ලබන වසරේ සිට දෙගුණයකින් වැඩිකිරීමටත්, එම පාඨමාලා අන්තර්ජාතික මට්ටමට උසස් කරන ලෙසත් නියෝග කර තිබෙනවා. මේ නිසා ඒවායින් පුහුණුව ලබන්නන්ට දේශීය මෙන්ම, විදේශීය රටක වුවද රැකියාවක් ලබාගත හැකියි. එනම්, කුමක් හෝ රැකියාවක් ලබාදීම වෙනුවට උසස් තාක්ෂණය මත පදනම් වූ හොඳ රැකියාවක් තරුණ තරුණියන්ට ලබාදීම මගේ අභිලාෂයයි." යනුවෙන් පවසා සිටියේය.