ඉන්දියානු සාගරය ආශ්රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් “ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව 2018 ඔක්තෝබර් 11-12 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව පැවැත්වෙනුයේ ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට ඍජු බලපෑමක් එල්ල කරමින්, ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් තුනෙන් එකක් යාත්‍රා කරන, අතිශය වැදගත් සන්නිවේදන මුහුදු මාර්ග පිහිටා තිබෙන ඉන්දියානු සාගරය ලොව වඩාත් කාර්යබහුලම හා තීරණාත්මකම වෙළෙඳ මාර්ගවලින් එකක් බවට පත්වී ඇති වකවානුවක ය.
ඉන්දියානු සාගරය ආශ්රිත රාජ්‍යයන් හා ඉන් ඔබ්බෙහි පිහිටි රාජ්‍යයන් නියෝජනය කරන සම්භාවනීය නියෝජිතයන් හා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් දින දෙකක් පුරා පැවැත්වෙන 2018 “ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව කලාපය හමුවේ ඇති ප්රබලතම අභියෝග හා අවස්ථා ගවේෂණය කරනු ඇත. ඉන්දියානු සාගරයෙහි ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාමකාමීව කටයුතු කිරීම පිළිබඳ එය සතු දීර්ඝ ඉතිහාසය, මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් කැඳවීමෙහිලා සුදුසුම රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරයි.
අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය ඇතිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ මුල්පිරීමකි.
ප්‍රතිපත්ති සම්පාදකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ විද්වතුන් සහභාගී වන මෙම සමුළුව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සාමුද්‍රික අපරාධ වැඩසටහන හා එක්ව සංවිධානය කරයි.