ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාඩම්බර සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, රාමායණ පුරාවෘත්තයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික සලකුණු නැරඹීම සඳහා විශේෂ චාරිකාවක් පසුගියදා සංවිධානය කළේය.
ඒ අනුව, ඉන්දියාවේ ප්රමුඛ සංචාරක ලේඛකයින් සහ ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙම චාරිකාව සංවිධානය කළ අතර, එමගින් අතීතයේ සිට දෙරට අතර බැඳී ඇති රාමායන පුරාවෘත්තයට අදාල ස්ථාන දැකබලා ගැනීමට, ගවේශණය කිරීමට සහ ගමනාන්ත දෙක අතර සංචාරය කරමින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
ඔවුන් මෙම සංචාරයේදී හලාවත මුන්නෙස්වරම් සහ මනවාරි කෝවිල් මෙන්ම, සිගිරිය හා ඵෙතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානය, තිරුකෝනේශ්වරම් කෝවිල, රම්බෝඩ ශ්‍රී භක්ත හනුමාන් කෝවිල, සීතා අම්මාන් කෝවිල, හක්ගල උද්භිද උද්‍යානය ආදී ස්ථාන නැරඹීමට ගොස් තිබේ. එමෙන්ම, මෙම සංචාරයේදී කතරගම පෙරහැර සහ ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්රද දැකබලා ගත් ඔවුන්, විභීෂණ දෙවියන්ගේ වාසස්ථානය වූ කැලණි රජමහා විහාරය වෙතද ගොස් තිබේ.
තවද හෙරිටන්ස් කන්ඩලම, නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය, ට්‍රින්කෝ බ්ලූ සිනමන් සහ ටාජ් බෙන්තොට රිසෝර්ට් සහ ස්පා වැනි සුවිශේෂී හෝටල් වලඅලංකාරය මෙන්ම ආගන්තුක සත්කාරය මෙම සංචාරකයින් පිරිස අතිශය සතුටට පත්කර ඇති අතර, ජාතික ගුවන් සේවය වෙනුවෙන් මෙම සංචාරයේ භූමි මෙහෙයුම් සහ සැපයුම් කටයුතු එයිට්කන් ස්පෙන්ස් විසින් සිදුකර තිබේ. මෙම සංචාරය පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාව ආරක්ෂිත හා මිත්‍රශීලී ගමනාන්තයක් බව ලොවට දැනුම් දීමට හැකි අවස්ථාවක් වන අතර එය ජාතික ගුවන් සේවය ප්රයත්නයේ කොටසක් බව කියැවේ.