70 වැනි ඉන්දීය ජනරජ දින සැමරුම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26දා ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය පවුල් සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී ඉන්දියානු ධජය එසවීම තරංජිත් සිං සින්ධු මහතා විසින් සිදුකරන ලදී.
මෙවර ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ප්‍රවීණ සරෝද් වාදන ශිල්පීන් වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අමාන් හා අයාන් අලි බංගාෂ්ගේ 'Strings of Peace' සංගීත ප්‍රසංගය සහ ඉන්දීය ජාතියේ පියා වන මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දින සංවත්සරය සැමරීම සඳහා ජායාරූප ප්‍රදර්ශනය හා කාඩි ඇඟලුම් ප්‍රදර්ශනය එදිනම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, මැති ඇමතීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ විවිධ වෘත්තිකයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.