ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳව අවධාරණය කෙරුණු බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අද (15දා) හමුවූ අවස්ථාවේදී ඇය මෙම අදහස් මතුකර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලෙගාඩ් මහත්මිය,
"අමාත්‍ය සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් හමුවීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. රටෙහි පවතින අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති ප්රමුථාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා. ජා.මූ.අරමුදලේ සහාය සහිත වැඩසටහන යටතේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳව එහිදී අවධාරණය කෙරුණා.
එම න්‍යාය පත්‍රය ඵලදායී අයුරින් ක්‍රියාත්මක කර ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්රතිලාභ ලැබෙන තිරසාර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට ශ්‍රී ලංකාව යොමුකළ හැකි බවටත්, එය විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සාධකයක් වන බවටත් එකඟ විය යුතුයි.
මේ ප්රයත්නයන්ට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය ලබාදීමට ජා.මූ.අරමුදල සූදානම්ව සිටින අතර, විස්තීරණ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ජා.මූ.අරමුදලේ දූත කණ්ඩායමක් පෙබරවාරි මස මැද භාගයේදී කොළඹ සංචාරය කිරීමට නියමිතයි." යනුවෙන් පවසා සිටියි.