අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන දීමට පියවර
මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, අපනයනකරුවන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
රජයේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මෙරට ආර්ථිකයේ ප්‍රධානතම අංශය වන අපනයන ක්ෂේත්රය සුරක්ෂිත කිරීම බවත්, ඒ අනුව, ඇඟලුම්, තේ, කුළුබඩු ඇතුළු ප්‍රධාන ක්ෂේත්රවල නියුතු අපනයනකරුවන් 4,500කට අධික පිරිසකට තම කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොග කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බවත් හෙතෙම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපති මංගල විජේසිංහ මහතා අවධාරණය කළේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මේ වන විටත් අපනයනකරුවන්ගෙන් අවශ්‍ය දත්ත රැස් කරමින් සිටින බවය. ඒ අනුව, යමෙකු මෙතෙක් සිය තොරතුරු ඉදිරිපත් කර නොමැති නම්, වහාම එම තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යමින් පවතින අවස්ථාවක, මෙරට අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ තීරණාත්මක වනු ඇත. අපනයන කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තමන් බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

