ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්රයේ නියුක්තිකයන්ගේ කැපවීම සහ උත්සාහය ජාතික මට්ටමින් ඇගයීමට ලක් කෙරෙන NASCO සම්මාන උලෙළ මේ වසරේදී අභිමානවත් 15 වැනි වරටත් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇතැයි එහි සංවිධායකයන් වන ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය හෙවත් SLIM ආයතනය පවසයි.
මෙහිදී කාණ්ඩ 3ක් යටතේ සම්මාන ප්රදානය සිදුකිරීමට සුදුස්සන් තෝරා ගන්නා අතර, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කලාප හෝ ජාතික මට්ටමේ විකුණුම් කළමනාකරුවන්, විකුණුම් විධායකයන් හෝ විකුණුම් අධීක්ෂකයන් සහ පාරිභෝගිකයන් සමග ඍජුවම ගනුදෙනුවේ යෙදෙන හෙවත් ඉදිරිපෙළ විකිණුම්කරුවන් ලෙස ඔවුන් වර්ග කර තිබේ.
ඒ අනුව, එක් ආයතනයක් නියෝජනය කරමින් උක්ත අංශ සඳහා පිළිවෙලින්, දෙදෙනෙක්, සිව්දෙනෙක් සහ හත්දෙනෙකුගේ උපරිමයෙන් යුක්තව NASCO සඳහා ඉල්ලුම් ඉදිරිපත් කළ හැකිය. එසේම මෙම සම්මානවලට අමතරව හොඳම කාන්තා විකුණුම් වෘත්තිකයාද පිදුම් ලැබීමට නියමිතය. සම්මාන පිරිනැමීමේදී රන්, රිදී සහ ලෝකඩ ලෙසින් ඒ ඒ කාණ්ඩයේ දක්ෂතමයන් තිදෙනා පිදුම් ලබන බවත් SLIM ආයතනය සඳහන් කරයි.
මේ අතරම, සම්මාන ප්‍රධානය සඳහා සහභාගි වන සෑම අයදුම්කරුවෙකුටම සහතිකයක් පිරිනැමීමටත් ඔවුන් කටයුතු යොදා ඇත. මෙම සම්මාන උලෙළ සඳහා අයැදුම් කිරීම 2015 ජූනි 11 වැනිදායින් අවසන් වන බව එම ආයතනය මෙම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කළේය. එසේම සම්මාන ප්රදානය එළැඹෙන ජූලි 24 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමටත් කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාව සඳහා SLIM ආයතනයේ සභාපති රුවන් ලියනගමගේ, උප සභාපති උපුල් අධිකාරී, විනිසුරු කමිටුවේ ප්‍රධානී ස්ටීවන් පෝල්රාජ්, විනිසුරු කමිටු උපදේශක නන්දන වික්‍රමගේ, SLIM NASCO 2015 ව්‍යාපෘතියේ සභාපති රංග පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.