ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ඒ ආශ්රිත සේවා ක්ෂේත්රයේ ජාතික සන්නාමය එළිදැක්වීමේ උත්සවය ඊයේ (15දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව මෙම ජාතික සන්නාමය එළිදැක්වීම සංවිධානය කළ අතර, තාක්ෂණික ආධාර මුදල් ආසියානු සංවර්ධන බැංකුව හරහා ජපන් අරමුදල විසින් පිරිනමා ඇත.
සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත මහත්මිය මෙන්ම, තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ඒ ආශ්රිත සේවා ක්ෂේත්ත්රයේ නිළධාරීන් රැසක් ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ඒ ආශ්රිත සේවා ක්ෂේත්රයේ ජාතික සන්නාමය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වී තිබේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අපනයන නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතින අතර, වාර්ෂික සංඛ්‍යාලේඛනවල සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවත්, දැනට සමාගම් 300ක පමණ හා අනෙකුත් ආයතනවල තාක්ෂණික වශයෙන් නිපුණ වෘත්තිකයන් 85,000ක් පමණ සේවය කරනු ලබන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙම ක්ෂේත්රයේ පසුගිය වසරේ වාර්ෂික අපනයනය ඇ.ඩො.බිලියන 01කට ළඟා වී ඇති අතර, වර්ෂ 2022 වනවිට ඇ.ඩො.බිලියන 05ක අපනයන ඉලක්ක කරගැනීම සහ කර්මාන්තයේ සෘජු රැකියා 200,000ක් වර්ධනය කිරීම ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. තවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය දැනට ලංකාවේ හතර වැනි විශාලතම අපනයන ආදායම උපයාගෙන ඇති අතර, ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජාතික අපනයන සැලැස්මේ (NES) ප්‍රධාන අංශයක් ලෙසද මෙම ක්ෂේත්රය හඳුනාගෙන ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.