ICAN සමුළුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට හිතකර බලපෑම්
10 වැනි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා ගිවිසීම් සමුළුව (10th ICAN Conference) 2017 ඊයේ (04දා) ආරම්භ වෙමින්, එළැඹෙන 08 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
එමෙන්ම, මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාවද ශ්‍රී ලංකාව වෙත හිමිවී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. මෙම ICAN සමුළුව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා ගිවිසීම් පිළිබඳ සමුළුව වන අතර, එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජික රාජ්‍යයන් අතර දැනටමත් පවත්නා ගුවන් ප්‍රවාහන අයිතීන් යාවත්කාලීන කිරීම හෝ වෙළෙඳ පොළ වෙත පිවිසීම සඳහා නව විධිවිධාන නිර්මාණය කිරීම හෝ අරමුණු කරගනිමින් ගුවන් ප්‍රවාහන සේවා ගිවිසුම් නිගමනය කර ගැනීම සඳහා ලොව සෑම පෙදෙසෙකින්ම පැමිණෙන නියෝජිත පිරිස් එකම රැස්වීම් පරිශ්‍රයකදී අවශ්‍ය පරිදි එකිනෙකා මුණගැස්වීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව බවද ඒ මහතා පවසයි.
රාජ්‍යයන් අතර ගුවන් ප්‍රවාහන සම්බන්ධ හැකියාව වර්ධනය කිරීම සඳහා ඒ ඒ රාජ්‍යයන්හි වෙළෙඳ පොළ පිවිසුම් අවශ්‍යතා ඉටුකර ගැනීම පිණිස මෙම සමුළුවට සහභාගි වීම සඳහා රාජ්‍යයන් 78කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිස් ශ්‍රී ලංකාව තුළ එක්රැස් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මෙම රාජ්‍යයන් 75න් පැමිණෙන නියෝජිතයන් 500ක් පමණ වන සංඛ්‍යාවක් සම්මේලනයට සහභාගි වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ගුවන් ප්‍රවාහන සහ සංචාරක කාර්යයන් හි මැදිහත් වන අනෙකුත් රාජ්‍ය සංවිධාන සියල්ල ද හවුල් කරගෙන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියත් එක්ව මෙම සමුළුවට ශ්‍රී ලංකාව තුළදී සත්කාරකත්වය ලබාදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී. එස්. විතානගේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි සභාපති ආනන්ද විමලසේන යන මහත්වරුන් විසින් මෙම සමුළුවට සත්කාරකත්වය ලබාදීම සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් සම්පූර්ණ කරගැනීම සඳහා තමා වෙත සහාය ලබාදී ඇති බව සතුටින් දන්වා සිටින බවද එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
සමුළුවට සත්කාරකත්වය ලබාදීමේ සාර්ථකත්වය උදෙසා විදේශ කටයුතු අමාත්‍යාංශය, සී/ස ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ටර්කිෂ් එයාර් ලයින්ස් සමාගම, කටාර් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම මේ සඳහා අනුග්‍රහය ලබාදී ඇත.
ප්‍රධාන වශයෙන් මෙම සමුළුවෙන් සත්කාරක රාජ්‍යයට ලැබෙන ඊට ආවේණික සංචාරක ප්‍රවර්ධන අගය හේතුවෙන් ලොව ප්‍රමුඛතම සංචාරක මධ්‍යස්ථාන වන බහමාස්, ජැමෙයිකාව, අන්ටාල්යා, බාලි සහ ඩර්බන් වැනි සංචාරක මධ්‍යස්ථානද මීට පෙර විවිධ අවස්ථාවන්හිදී මෙම සමුළුවට සත්කාරකත්වය ලබා දී ඇති බව හෙතෙම පවසයි. සෑමවිටම සම්මේලනයේ ආරම්භක සැසිවාර අතර පැවැත්වෙන, සියලුම නියෝජිතයන් සහභාගී වන සැසිවාරයන් හි අවධානය කේන්ද්‍රගත කරනූයේ රාජ්‍යයන් හි ආර්ථික වර්ධනය සඳහා ගුවන් සේවාව සහ සංචාරක කර්මාන්තය සංයෝජනය කිරීමේ වැදගත්කම සහ ගුවන් ගමන් සඳහා ඇති බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාව කෙරෙහිය. ප්‍රවාහන බලධාරීන්, සිවිල් ගුවන් සේවා නියාමකයන්, ප්‍රභූවරුන්, නීති සම්පාදකයන් සහ ඒ ඒ රාජ්‍යයන් හි ගුවන් ප්‍රවාහන සමාගම් සහ ගුවන් තොටුපොළ නියෝජිතයන්ගේ මිශ්‍රණයකින් සැදුම් ලත් විවිධ රාජ්‍යයන් හි නියෝජිත පිරිස් අතර ස්වකීය අභ්‍යන්තර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපරිම ප්‍රයෝජනය ලබාගැනීම මෙම සම්මේලනයට සත්කාරකත්වය ලබාදෙන රාජ්‍යයන් හි අපේක්ෂාව වී තිබේ. ඒ අනුව, මෙම සාකච්ඡාවන්ට මැදිහත් වන බහුතරයක් නිලධාරීන් 'වෙළෙඳ පොළ අවස්ථා සොයන්නන්', 'සම්බන්ධතා හැකියාව ගොඩනඟන්නන්' සහ ඔවුන්ගේ එදිනෙදා නිල කාර්යයන් හිදී වෙනත් බොහෝදෙනා සමග අන්‍යෝන්‍ය වශයෙන් කටයතු කරන සහ නිරන්තරයෙන් සංචාරයෙහි යෙදෙන බලවත් පුද්ගලයන් වන හෙයින්, ඔවුන් සත්කාරක රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයන් සඳහා විශිෂ්ට දූත මෙහෙවරක් ඉටුකරනු ඇති බවද එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
මීට පෙර මෙම සමුළුව දකුණු ආසියාවේ රාජ්‍යයක දී පවත්වනු ලැබ ඇත්තේ එකම අවස්ථාවකදී පමණි. 2011 වසරේදී එසේ මෙම සමුළුව ඉන්දියාවේ මුම්බායි නගරයේදී පවත්වා ඇති අතර, සමුළු ස්ථානය වී ඇත්තේ සුප්‍රසිද්ධ ටාජ් හෝටලයයි. එහිදී, මෙම සමුළුව පැවැත්වෙන ස්ථානය වසරින් වසර වෙනස් කිරීම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රතිපත්තිය වන හෙයින් ඉදිරි වර්ෂ කිහිපය ඇතුළත මෙය යළිත් ආසියා ශාන්තිකර කලාපයට අයත් රාජ්‍යයක නොපැවැත්වෙනු ඇති බවද හෙතෙම පවසයි.
ICAN සමුළුව විවෘත කිරීමේ උත්සවය 2017 දෙසැම්බර් මස 04 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යත්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනු ඇති අතර, ඉන් අනතුරුව සමුළු සංවිධායක ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සමායෝජනය සහිතව ඒ ඒ රාජ්‍යයන් විසින් නියම කරගනු ලබන අන්‍යෝන්‍ය වැඩපිළිවෙළ අනුව ඒ ඒ රාජ්‍යයන් අතර වන ගුවන් ප්‍රවාහන සේවා ගිවිසීම් සාකච්ඡා දෙසැම්බර් මස 08 වැනි දින දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඊට සහභාගි වන ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අනුග්‍රහය යටතේ විවෘත කිරීමේ උත්සවය පවත්වනු ලබන අතර, සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා උත්සවයේ සම්භාවනීය අමුත්තා වශයෙන් ඊට සහභාගි වනු ඇත. එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාද ICAO හි උසස් නිලධාරීන් සමග විශේෂ අමුත්තකු වශයෙන් උත්සවයට සහභාගි වීමට නියමිතය.
රාජ්‍යයන් නියෝජනය කරන සියලුම ගුවන් සේවා වෘත්තිකයන් මධ්‍යයේ දෙසැම්බර් මස 07 වැනි දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සැමරීම මෙම සමුළුව අතරතුර සිදුවන විශේෂ සිදුවීමක් බවද හෙතෙම පෙන්වා දෙයි.
10 වැනි ICAN සමුළුවට සත්කාරකත්වය ලබාදීමෙන් ශ්‍රී ලංකාවට එහි ගුවන් සේවාව, සංචාරක කාර්යයන් සහ වෙනත් පහසුකම් ඉහළම පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවා වෘත්තිකයන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙනු ඇත. ICAN 2017 නිසා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හරහා ICAO හි සාමාජික රාජ්‍යයන් 192 අතර, ශ්‍රී ලංකාවට විශේෂ වැදගත් කමක්ද ලැබෙනු ඇති බව එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
ගුවන් ප්‍රවාහන සේවා ගිවිසුම් විධිවිධාන ලිහිල් කිරීමේ සහ පවත්නා විධිවිධාන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණ සහිතව රාජ්‍යයන් 30ක් පමණ හමුවීමේ අවස්ථාව මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට හිමිවේ. ඒ ඒ රාජ්‍යයන් වෙත ගොස් එකිනෙක රාජ්‍යයන් සමග වරින්වර සාකච්ඡා පැවැත්වීමට වඩා මෙසේ දින 05ක කාලයක් ඇතුළත මෙකී රාජ්‍යයන් සියල්ල සමග ශ්‍රී ලංකාව තුළදීම සාකච්ඡා පැවැත්වීම වඩාත් පිරිවැය -ඵලදායී ක්‍රමයක් බවද හෙතෙම පෙන්වා දෙයි.
ගුවන් ප්‍රවාහන සේවා විධිවිධාන ලිහිල් කිරීමට මෙවැනි ගිවිසීම් සමුළු උපකාරී වන බවත්, මේ මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි වඩාත් හිතකර ආවර්ත බලපෑමක් ඇති වන නිසා එයින් රැකියා අවස්ථා වැඩිකිරීමටත්, ශ්‍රී ලංකාවට ඇති ගුවන් ප්‍රවාහන සම්බන්ධන හැකියාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර, කල්ගත වනවිට ගුවන් ගමන් ගාස්තු ප්‍රමාණයන් අඩුකිරීමේ හැකියාවද ලැබෙනු ඇති බව එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
මෙම සමුළුවට සමගාමීව 2017 දෙසැම්බර් මස 07 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ශ්‍රී ලංකාවේ සැමරීමටද අපේක්ෂා කරන බව එච්.එම්.සී. නිමල්සිරි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

