GSP යළි ලැබේවි යැයි අපි බලාපොරොත්තුවෙන් - විදේශ කටයුතු අමාත්‍යාංශය
එක්සත් ජනපද GSP වැඩසටහන යටතේ ප්රතිලාභ ලැබූ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද එම සහනය යළි දීර්ඝ කරගැනීම සඳහා ප්‍රවේශ වී සිටින බවත්, එක්සත් ජනපද කොංග්‍රසය විසින් එම දීර්ඝ කිරීම සිදුකරන තුරු ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහිතව රැඳී සිටින බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජනපදයේ විශේෂ ප්රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) 2017 දෙසැම්බර් 31දායින් අවසන් වන බවත්, වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර එක්සත් ජනපද කොංග්‍රසය මෙම GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (29දා) උදෑසන සිදුකළ නිවේදනයට ප්‍රතිචාර ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිවේදනය සිදුකර තිබේ.
මෙම GSP වැඩසටහන අවසන්වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018 ජනවාරි 01දා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීම බවද තානාපති කාර්යාල නිවේදනයෙන් වැඩිදුරටත් කියවුණි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරුණේ, වරණීය නොවන තීරුබදුවලට යටත් නොවී තම භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කිරීමට රාජ්‍යයන් 120කට පමණ මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ හිමිවූ බවයි. 1974 වෙළෙඳ පනතට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සංවර්ධනය වන රටවල ආර්ථික වර්ධනයට අනුබලයක් ලබාදෙමින් හඳුන්වා දී ඇති අතර, එය 1976 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වූ බවද පෙන්වා දෙයි.
එමෙන්ම, එක්සත් ජනපද GSP වැඩසටහන කලින් කලට කල් ඉකුත්වන බවත්, එය යළි බලාත්මක කරගැනීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, 2015 GSP යළි බලාත්මක කිරීම 2017 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ නිසා, 2017 වසර අවසානයට පෙර මෙය යළි බලාත්මක නොකිරීමෙන්, ශ්‍රී ලංකාව ඇතුළුව ඒ තුළින් ප්රතිලාභ ලබන රටවල භාණ්ඩ එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීමට සිදුවනු ඇති බව පවසා සිටියි.
නමුත්, මේ ආකාරයෙන් එක්සත් ජනපද කොංග්‍රසයේ අනුමැතිය හිමි නොවීම නිසා GSP වැඩසටහන ප්‍රමාද වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකා අපනයන සඳහා ප්‍රමුඛතම හා විශාලතම ගමනාන්තය ඇමෙරිකානු ආර්ථිකය බවත්, එය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 27.5%ක් බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව 3,500ක් පමණ වූ විවිධත්වයෙන් යුතු භාණ්ඩ මෙම වැඩසටහන යටතේ තීරු බදුවලට යටත් නොවී එක්සත් ජනපදයට අපනයනය කළ හැකි බවත්, ඇතැම් නිෂ්පාදන මෙවලම්, ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදවුම්, බුමුතුරුණු, ඛනිජ සහ කිරිගරුඬ ආදිය එකී භාණ්ඩ වර්ග අතරින් කිහිපයක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ නිසා, එක්සත් ජනපද GSP වැඩසටහන යටතේ ප්රතිලාභ ලැබූ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද එම සහනය යළි දීර්ඝ කරගැනීම සඳහා ප්‍රවේශ වී සිටින බවත්, එක්සත් ජනපද කොංග්‍රසය විසින් එම දීර්ඝ කිරීම සිදුකරන තුරු ශ්‍රී ලංකාව බලාපොරොත්තු සහිතව රැඳී සිටින බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

