ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වර්ෂය වෙනුවෙන් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය 7.3% ක් වුවත්, එය තවදුරටත් වැඩිදියුණු විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද (08දා) මහ බැංකු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් 2013 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිගැනීම සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියේය.
එහිදී කතාකළ රාජපක්ෂ මහතා,
“2009 දී අපට කතා කිරීමට සිදු වූයේ ඍණ ආර්ථිකයක් ගැන. නමුත් 2013 දී එය 7.3% දක්වා ආර්ථික වර්ධනයක් ලබා තිබෙනවා. එය බෙහෙවින් යහපත් තත්ත්වයක් වුවත්, රජයක් ලෙස එය මදි යැයි අපි සිතනවා. එම ආර්ථික වර්ධන වේගය තවදුරටත් වැඩිදියුණු කළ යුතු වෙනවා. එයට සැමගේ සහයෝගය අවශ්‍යයි” යනුවෙන් පවසා සිටියේය.
අද (08දා) එළිදැක්වුණු 2013 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මහ බැංකුව ඉදිරිපත් කළ 64 වැනි වාර්ෂික වාර්තාව ලෙස සැලකෙන අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අඛණ්ඩව 8 වැනි වරටත් එය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
එම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු එක්වී සිටියහ.
ඡායාරූප උපුල් අබේසේකර