සම්ප්‍රදායික කර්මාන්ත හා එම ශිල්පීන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්කරලීම රජයේ වගකීමක් බවත්, මෙම වගකීම හරිහැටි තේරුම්ගෙන සිටින ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජය මෙම ශිල්පීන් හා එම කර්මාන්ත සංවර්ධනය කොට රැකගැනීම උදෙසා විශාල මෙහෙයක් ඉටුකරන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
මෙවර අයවැයෙන් රු.මිලියන 25කට අධික මුදලක් ඒ වෙනුවෙන් වෙන්කොට ඇති බව පෙන්වා දෙමින්, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජාතික ශිල්ප සභාවේ ප්‍රධාන කාර්යාලයේ අධීක්ෂණ සංචාරයකට එක්වෙමින් මෙසේ පවසා සිටියේ, එහි සේවකයන් හා කර්මාන්ත ශිල්පීන් අමතමිනි.
මෙම අවස්ථාවේදී ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා, සිය සේවකයින්ට හා ශිල්පීන්ට වර්තමානයේ මුහුණ දීමට සිදුවී තිබෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළේය. එහිදී අමාත්‍යවරයා, ජාතික ශිල්ප සභා කාර්යාලයේ පවතින ඉඩකඩ හා අනෙකුත් ප්‍රශ්න ඉතා කෙටි කලකින් විසඳා දෙන බවට පොරොන්දු විය. තවද, ශිල්පීන්ගේ සුභසාධනය උදෙසා පවත්වනු ලබන ශිල්ප ප්රදර්ශනවලදී ඔවුන්ට සාර්ථක වෙළෙඳ පොළක් සොයාදීම උදෙසා අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, තමන්ට ශිල්ප සභාවේ තිබෙන අඩුපාඩු පෙන්වාදීම ගැන සභාපතිවරයාට ස්තූතිය පුද කළේය.
මෙම අවස්ථාවට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානාසෝති සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පුෂ්පා අබේගුණවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.