බදු සංශෝධන කිහිපයක් සමග සංශෝධිත නව දේශීය ආදායම් පනත අද (01දා) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ නව දේශීය ආදායම් පනත අද සිට බලාත්මක වීමට සමගාමීවය.
මේ නව පනතට අනුව මෙරට ක්ෂේත්‍ර රැසක බදු සංශෝදනය වන අතර, ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම බදු ලිපිගොනුවක් විවෘත කෙරෙනු ඇත.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 ජූලි මාසයේදී්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව යළි සංශෝධනය කෙරෙණු අතර, එසේ සංශෝධිත දේශීය ආදායම් පනත පසුගිය සැප්තැම්බර් 7දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන උපයන විට ගෙවීම් බද්ද අද සිට සංශෝධනය වනු ඇති.
ඒ අනුව දැනට අයකරනු ලබන උපයන විට ගෙවීම් බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ 7.5 සිට ලක්ෂ 12 දක්වා ඉහළ දැමීමෙන්, දැනට ආදායම් බදු ගෙවන පිරිසක් බදුවලින් නිදහස් වීමද විශේෂත්වයකි.
වාර්ෂික ආදායම ලක්ෂ 12 සිට වැඩි වන පළමු ලක්ෂ 6ට 4%ක බද්දක් අයකරනු ඇත. එතැන් සිට වැඩිවන සෑම ලක්ෂ 6කට පිළිවෙලින් 8%, 12%, 16%, 20%, 24% ලෙස බදු මුදල් ඉහළ යෑමක් සිදුවෙයි. මීට පෙර මෙහි උපරිම බදු මුදලේ ප්‍රතිශතය වූයේ 16%කි.
මීට අමතරව, මීට පෙර වාර්ෂික ආදායම රු.මිලියන 25.5ක් ඉපයූ වෘත්තිකයන්ට කලින් බලපෑ 12%ක බදු අනුපාතය 24%ක් දක්වා ඉහළ යමින් බලපාන අතර, එය මාසික ආදායම රු.ලක්ෂ 3කට වඩා වැඩි වෛද්‍යවරුන්, නීතීඥවරුන් වැනි වෘත්තිකයන්ට විශේෂයෙන් බලපානු ඇත.
මෙම නව දේශීය ආදායම් පනත මගින් අද සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.
යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම, ආයෝජන වත්කමක් වන නිවහනක් විකිණීමේදී වෙළෙඳ පොළේ විකුණුම් මිල අතර වෙනස 10%ක බද්දකට යටත් වනු ඇත.
එමෙන්ම, විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයින් මෙරට බැංකුවල තැන්පත් කරන ඉතුරුම්වලට ලැබෙන පොලියට 5% ක බද්දක් අයකිරීමට නියමිතය.
එහෙත් විදෙස්ගත ශ්‍රමිකයින් තම නිවෙස්වලට හා ඥාතීන් වෙත එවනු ලබන මුදල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවද මුදල් අමාත්‍යංශය පවසයි.
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පොලී ආදායම රු.ලක්ෂ 15 දක්වා බද්දෙන් නිදහස් වන අතර ඉතිරිය 5%ක බද්දක් අයකරනු ඇත.
බදු සහන හා බදු විරාම ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200 ක් අහෝසි කර තිබීමද නව දේශීය ආදායම් පනතේ විශේෂත්වයකි.