රටෙහි සංවර්ධනයේදී පරිසරයට මූලිකත්වය ලබාදිය යුතු බවත්, රජයක් ලෙස ඒ සඳහා තමන්ටද වගකීමක් ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ අද පෙරවරුවේ කොළඹ 03, ශ්‍රී ජිනරතන මාවතේ පිහිටි සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම විසින් දියත් කරන ලද ‘සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ක්ලීන් සෝන්’ වැඩසටහනේ සමාරම්භය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පසුගිය රජය කාලයේ සිදුකරපු අත්තනෝමතික ක්‍රියා දැන් අපිට තමයි නිවැරදි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට දැන් මතුවෙලා තියෙන මේ විල්පත්තුව සම්බන්ධ ප්රශ්නය දක්වන්න පුළුවන්. මේ වනකොට ඒ ගැන සොයන්න අපි කමිටුවක් පත් කරලයි තියෙන්නේ. රටක් හැදෙන්න නම් සංවර්ධනය වෙන්න ඕනේ. සංවර්ධනය සමගම අපේ පරිසරය, ගස්කොළං, සතුන් මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නොවුණොත් අපිට රටක් හැටියට ඉදිරියට යන්න බැරිවෙනවා” යැයි පවසා සිටියේය.
මෙහිදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නගර ශාඛාව ප්‍රථම ‘සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ක්ලීන් සෝන්’ ලෙස නම් කිරීමද රුවන් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. ඒ අනුව එම ශාඛාවේ සිට මීටර් 500ක වපසරියක පිහිටි ප්‍රදේශය පිරිසුදුව තබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම මෙය සිය වැඩසටහනේ තෙවැනි අදියර ලෙසින් ක්‍රියාත්මක කරන බවත් එම සමාගම කියා සිටියි.
මෙම අවස්ථාව සඳහා කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සේවක පිරිස සහභාගි වී සිටියහ.
සටහන/ඡායාරූප - භානුක අමරසිංහ