ආසන්න කාලසීමාවේදී අර්බුදයකට ලක්ව තිබෙන මෙරට සමාගම් සමූහයක හිමිකාරීත්වය ලබාගැනීම සඳහා ඉදිරිපත්ව තිබෙන විදේශීය සමාගමක් සහ එහි හිමිකරුවා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ මෙන්ම සමාජය තුළත් ඉහළ කතාබහක් ඇතිව තිබේ. ඔහු අන් කවරකුවත් නොව මෙරටින් යුරෝපයට සංක්‍රමණය වී එහි ව්‍යාපාර ආරම්භ කර කෝටිපතියෙකු බවට පත්ව සිටින අලිරාජා සුබාෂ්කරන් නමැත්තාය. අද වනවිට ඔහුගේ ව්‍යාපාර ජාලය රටවල් 23ක් පුරා විසිරී පැතිරී ඇත.
එහෙත් මේ ගෙවුණු කාලය තුළදී ඔහුගේ නම සඳහන් වන්නේ යහපත් චරිත සහතිකයකට වඩා අයහපත් චරිත සහතිකයක් සඳහා වීම මෙහි විශේෂත්වයයි. එහිදී මුදල් විශුද්ධිකරණ චෝදනාව සහ බදු වංචා චෝදනා ප්‍රධාන වෙයි. අවස්ථා කිහිපයකදීම මෙරට දේශපාලනය තුළ මෙන්ම ව්‍යාපාර ලෝකය තුළත් මෙම අලිරාජා සුබාෂ්කරන්ගේ නම කියැවුණි. ඇතැම් විට පවතින සමාගම් මිලදී ගැනීමටත්, අලුතින් ව්‍යාපාර වෙත ආයෝජනය කිරීමටත් ඔහු පෙළැඹුණු අවස්ථා පවතී.
එහි ආසන්නතම අවස්ථාව ලෙස මෙම සිදුවීම දැන් මතුව තිබේ. ඒ අනුව, මෙලෙස වරින් වර කරළියට පැමිණෙමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර හිමිකරගැනීම සඳහා උත්සාහ දරන මෙම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමට'අද' අපි මෙසේ කටයුතු කළෙමු.
අලිරාජා සුබාෂ්කරන් යනු ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා ප්‍රංශයට සංක්‍රමණය වනවිට ඔහුගේ වයස අවුරුදු 17කි. එහිදී ඔවුන් පැරිස් නුවර අවන්හලක් පවත්වාගෙන ගොස් ඇත. අනතුරුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන ඔහු එහි පිහිට වූ සමාගමේ නම 'ලයිකා (Lyca)' වෙයි. ඒ නම යොදා ඇත්තේ ඔහුගේ සහෝදරිය වන ලේඛාගේ නමිනි. ඒ යටතේ 2002දී ආරම්භ කළ පළමු සමාගම ලයිකාටෙල්ය.
ඒ හරහා ඔහු සිදුකර ඇත්තේ මොබයිල් කාඩ්පත් තොග වශයෙන් විකිණීමය. අනතුරුව එය ලයිකාමොබයිල් ලෙස තවදුරටත් ව්‍යාප්ත කර තිබේ. අද වනවිට රටවල් 23ක් පුරා ක්‍රියාත්මක ලයිකාමොබයිල් සමාගමේ පාරිභෝගිකයෝ මිලියන 15ක් සිටිති. එසේම එහි ආදායම යූරෝ බිලියන 1.6කි. අද දවසේ අලිරාජාගේ සමස්ත වත්කම පවුම් මිලියන 180ක් වෙයි.
මීට අමතරව ලයිකා නාමය යටතේ තවත් උප සමාගම් 11ක් ඔහු විසින් පවත්වාගෙන යයි. ලයිකාෆ්ලයි, ලයිකාටීවී, ලයිකාලොටෝ, ලයිකාමනි, ලයිකාරෙමිට්, ලයිකාචැට් ඒ අතරින් කිහිපයකි. ලයිකා ප්‍රඩක්ෂන් නම් තවත් සමාගමක් මගින් ඔහු දැනටමත් දකුණු ඉන්දියාවේ සිනමා කර්මාන්තයට අතගසා ඇත. මේ හරහා ඔහු ඉන්දියාවේ දේශපාලනයටද සමීප වී තිබේ. ඉතා ජනප්‍රිය වූ සිනමා පට කිහිපයකම නිෂ්පාදකයා වන ඔහු, ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයට සුදුසු පිරිස් හමුවන්නේ නම් ඒ සඳහාද ආයෝජනය කිරීමට කැමැති බව පවසා ඇත.
කෙසේ වෙතත්, මේ ලයිකා සමාගමේ හිමිකරුවා වන අලිරාජා සුබාෂ්කරන් යනු වරක් දෙවරක් නොව කිහිපවරක්ම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලොව රටවල් රැසකදීම චෝදනාවට ලක්වූවෙකි. ඒ අනුව, ඔහු මේ වනවිට ලෝකයේ දුරකථන සන්නිවේදන කර්මාන්තය තුළ ව්‍යාපාර කටයුතු කරන, ආන්දෝලනාත්මක චරිතයකි.
2016 වසරේදී ඔහු ප්‍රංශයේ පැරිස් නුවර පොලීසියේ අත්අඩංගුවට පත් වන්නේ එරට තුළ සිදුකළ පවුම් මිලියන ගණනක බදු සහ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි. එහිදී ලයිකාමොබයිල් අධ්යක්ෂවරයා ඇතුළුව තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට පත්විය. මෙම පරීක්ෂාවේදී අදාළ ලයිකාමොබයිල් කාර්යාලයේ තිබී අතිවිශාල මුදල් සම්භාරයක් සොයා ගැනීමටද පැරිස් පොලීසියට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත්, යුරෝපා කලාපය තුළ වඩාත් හොඳ නමක් දිනාගෙන සිටින අලිරාජා සුබාෂ්කරන් මේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂයෙන්ම ඔහුට සිය ලයිකාමොබයිල් සමාගමේ මූලස්ථානය පිහිටි බ්‍රිතාන්‍ය තුළ ආරක්ෂාවක් හිමිව තිබුණේ ඔහු එරට පාලක කන්සර්වේටිව් හෙවත් ටොරි පක්ෂය වෙත අරමුදල් සපයන ප්‍රධානම පුද්ගලයා බවට පත්විමත් සමගිනි.
2011දී ආරම්භ කෙරුණු මේ අරමුදල් සැපයීම යටතේ මේ දක්වා පවුම් මිලියන 2.2ක පමණ මුදලක් අලිරාජා සුබාෂ්කරන් කන්සර්වේටිව් පක්ෂය වෙත ලබාදී ඇත. එසේම 2012 වසරේදී එම පක්ෂයේ ලන්ඩන් නගරාධිපති අපේක්ෂක බොරිස් ජොන්සන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දුරකථන සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානද යොදා ගැනීමට ඔහු කටයුතු යොදා ඇතැයි මාධ්‍ය පවසයි.
එහෙත් ප්‍රංශයේ හටගත් සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය තුළත් ඔහුගේ බදු වංචා පිළිබඳ චෝදනා එල්ල විය. ඒ එල්ල වූ පීඩනයත් සමගින්ම අලිරාජා සුබාෂ්කරන්ගේ මෙම මුදල් විශුද්ධිකරණ කටයුතුවලට එරෙහිව යමින්, ඔහු විසින් කන්සර්වේටිව් පක්ෂයට ලබාදුන් අරමුදල් යළි ලබාදිය යුතු බවටද එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ඩේවිඩ් කැමරන්ට බලපෑම් එල්ල විය.
අලිරාජා සුබාෂ්කරන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු සඳහා මුල්වරට සම්බන්ධ වූ බවට වාර්තා වන්නේ 2003 වසරේදීය. එහිදී ලයිකාටෙල් සමාගම යටතේ ශ්‍රී ලංකා ජාතික දුරකථන ජාලය සමගින් 'සීගිරි කාඩ්' නමැති ජාත්‍යන්තර දුරකථන සේවා සම්බන්ධ කාඩ්පතක් හඳුන්වාදීමට ඔහු මැදිහත්ව තිබේ. එවකට එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වත්මන් රජයේ දේශපාලඥයෙකු මෙන්ම, පාර්ලිමේන්තුවේ ප්‍රබලයෙකි. ශ්‍රී ලංකාවෙන් විදෙස් දුරකථන ඇමතුම් ලබා ගැනීමට අදාළ ක්‍රමයක් වූ මේ හරහා අලිරාජා සුබාෂ්කරන් විශාල මුදල් වංචාවක් සිදුකර ඇතැයිද අනාවරණය වී තිබේ.
ඉන් අනතුරුව 2014 – 2015 කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ හචිසන් ටෙලිකොම් ලංකා සමාගමේ හච් ජංගම දුරකථන ජාලය මිලදී ගැනීම සඳහාද ඔහු පැමිණ තිබේ. එහිදී හොංකොංහි පිහිටි හචිසන් මවු සමාගමේ හිමිකරුවන් සමගින්ද ඔහු මේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර ඇතැයි අනාවරණය වෙයි. එහෙත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් මොබිටෙල් සමාගම හච් සමාගම මිලදී ගැනීමට සූදානම් වීම නිසා එම ගනුදෙනුව වැළකී ඇත. යළිත් වරක් වර්තමාන රජය යටතේදීද අලිරාජා සුබාෂ්කරන් හච් මිලදී ගැනීම සඳහා මෙරටට පැමිණ ඇති අතර, මොබිටෙල් සමාගම තවදුරටත් හච් මිලදී ගැනීමට අවධානය යොමු කර තිබීම නිසා එය මග හැරී ඇත.
අද දවසේ අර්බුදයට ලක්ව ඇති ඉහත සඳහන් කළ සමූහ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා අලිරාජා සුබාෂ්කරන් සිය ලයිකා සමාගම හරහා ඉදිරිපත් වන්නේ මෙවැනි පසුබිමක් යටතේ බවත් පැවසේ. බ්‍රිතාන්‍ය තුළ මෙන්ම යුරෝපය තුළත් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වෙත එම සමාගම පැවරීම සම්බන්ධයෙන් වර්තමාන රජයේ අගමැතිවරයා ඇතුළුව ඉහළ පෙළේ පිරිස් හොඳින්ම දන්නා බව මේ පිළිබඳව කරුණු දක්වන පිරිසගේ පොදු අදහස වී තිබේ.
"අලිරාජා සුබාෂ්කරන් කියන්නේ තමන් මුදල් යොදවන ඕනෑම ව්‍යාපාරයක් මුල් වසරක- දෙකක පමණ කාලයේදී ඉතාමත් හොඳින් පවත්වාගෙන යන පුද්ගලයෙක්. ඒත් ඔහු ඊට යොදවපු මුදල උපයා ගත්තට පස්සේ ඒ ව්‍යාපාරය ගැන අවධානය යොමු කරන්නේ නෑ. අන්තිමේදි වෙන්නේ ඒ ව්‍යාපාරවලට මුදල් යොදවපු අනෙක් පිරිස් සහ ඒ ව්‍යාපාරවල සේවය කරපු අයගේ අනාගතය අවිනිශ්චිත වීමයි. මේ ක්‍රියාකලාපය අතින් ඔහු යුරෝපයේ බොහෝ රටවල කුප්‍රසිද්ධයි. අපේ රටේ බලධාරීන් ඇයි ඔහු ගැන නොදන්නේ කියන දේ ගැටලුවක්. දැනගෙනත් මේ විදියට ඉන්නවාද කියලත් හිතෙනවා." ඔවුන් පවසයි.
එහෙත් අලිරාජා සුබාෂ්කරන්ට හෝ ලයිකාමොබයිල් සමාගම වෙත හෝ මෙරට තුළ ආයෝජනය සඳහා ඉඩ ප්‍රස්තාව හිමිව තිබෙන්නේ ඔහුගේ මැදිහත්වීම හරහා මෙරට තුළ සිදුකර ඇති සමාජ සත්කාර හේතුවෙන්ද යන්න අනෙක් ගැටලුවයි. අලිරාජා සුබාෂ්කරන්ගේ මව වන ඥානම්බිකායි අලිරාජා සහ බිරිඳ වන ප්‍රේමා සුබාෂ්කරන් එක්ව ආරම්භ කරන ලද ඥානම් පදනම හරහා මේ වනවිට යාපනයේ සහ වවුනියාවේ නිවාස ව්‍යාපෘති සඳහා මුදල් යොදවා ඇත. මෙම පදනම මෙරට තුළ අංක SL – L-151301 යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කර තිබේ.
2009 වසරේදී ඊළාම් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව 2010 වසරේදී පිහිටුවා ගත් මේ පදනම හරහා අදාළ ව්‍යාපෘතිය වෙත ලබාදී ඇති මුදල් ප්‍රමාණය ඉන්දියානු රු.කෝටි 22කට ආසන්න බව පැවසෙයි. නිවාස 150කින් සමන්විතව ගම්මානයක් ලෙස ඉදිවන මෙය 'ලයිකා ගම්මානය' ලෙසින්ද නම් කර තිබේ. පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත්ගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ව්‍යාපෘති භාරදීමට කටයුතු යෙදුණද එය සාර්ථක නොවුණි.
මේ තත්ත්වයත් යටතේම ලොව තුළ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් තවදුරටත් මෙරටට ගෙන්වා ගනිමින්, මෙරට ව්‍යාපාර ඔවුන් වෙත අලෙවි කිරීමට උත්සාහ දැරීම කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකිය යන්න මෙරට ව්‍යාපාරිකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි. මේ හරහා දැනටමත් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනාව යටතේ අසාදු ලේඛනගතව සිටින ශ්‍රී ලංකාව තවදුරටත් එම ලැයිස්තුවේ ඉහළට යාම වැළැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
අලිරාජාගේ මූලිකත්වයෙන් පිහිටවුණු ඉහත සඳහන් ඥානම් අරමුදලේ තේමා පාඨය වන්නේ 'මට මාළුවෙක් දෙන්න එපා - මට මාළු අල්ලන්න උගන්වන්න' යන්නයි. එහෙත් වසර ගණනක වංචාකාරී ව්‍යාපාර අත්දැකීම් සමගින් මාළුන් මෙන්ම මිනීමෝරුන්ද ඇල්ලීමට දන්නා අලිරාජා සුබාෂ්කරන් නම් මෙම කෝටිපති වංචාකරුවාට මාළුන් පිරි විලක්ම දෝත පිටින් ලබාදීමට වත්මන් රජය සූදානමින් සිටින්නේ දැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත.